සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

    January, 6, 2026

    සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) 2026 ජනවාරි 06 වන දින සිට කොළඹ සහ සිංගප්පූරුව අතර නව ගුවන් ගමන් වාර තුනක් දිවා කාලයේ ආරම්භ කරයි. මෙමඟින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ගමනාන්ත අතර පවතින සබඳතාව තවදුරටත් පුළුල් වනු ඇත.

    සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම ක්‍රියාත්මක වන මෙම නව දිවා කාලින ගුවන් ගමන් සේවාව මගින් දැනට පවතින ගුවන් ගමන් කාලසටහන තවදුරටත් ශක්තිමත් වේ. එමෙන්ම, මෙමඟින් දෙරට අතර ගමන් කරන පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් මෙන්ම තම කැමැත්ත පරිදි ගමන් වාර තෝරාගැනීමට වැඩි අවස්ථාවක් ද හිමිවේ. මෙම නවතම දිවා ගුවන් ගමන් සේවාව සමඟ කොළඹ සහ සිංගප්පූරුව අතර සතියක් තුල ක්‍රියාත්මක වන වන මුළු ගුවන් ගමන් වාර ගණන 10 දක්වා ඉහළ යයි.

    මෙම ගුවන් ගමන් සඳහා සිංගප්පූරු ගුවන් සේවයට අයත් එයාර්බස් A350 සහ බෝයිං 787-10 ඩ්‍රීම්ලයිනර් (Dreamliner) වැනි අති නවීනතම ගුවන් යානා භාවිතා කෙරේ. මෙම නව සේවාව භාවිත කරන පාරිභෝගිකයන්ට ගුවන් සමාගමේ උසස් ප්‍රමිතියේ සේවාවන් සහ නවීනතම විනෝදාස්වාද පහසුකම් සමඟින් උසස් ගුවන් ගමන් අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව ලැබේ.

    හඳුන්වා දුන් මෙම දිවා ගුවන් ගමන් කාලසටහන හරහා, සිංගප්පූරු චැංගි ගුවන් තොටුපළ ඔස්සේ ලොව පුරා ප්‍රධාන ගමනාන්ත වෙත වඩාත් පහසුවෙන් ළඟා වීමට මගීන්ට අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ප්‍රධාන නගර වෙත වඩා හොඳ සම්බන්ධතාවක් මෙමඟින් ලැබෙන අතර, එය ව්‍යාපාරිකයින් සහ සංචාරකයින් යන දෙපාර්ශවයටම මහත් පහසුවක් වනු ඇත.

    මෙම නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා සාමාන්‍යාධිකාරී බිරේන් පෝ  මහතා පැවසුවේ, "කොළඹ සහ සිංගප්පූරුව අතර දිවා කාලයේ ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාව වෙත අපගේ දීර්ඝකාලීන කැපවීම නැවත වරක් තහවුරු වෙනවා. අපගේ සිංගප්පූරු කේන්ද්‍රස්ථානය හරහා ලොව ප්‍රධාන රටවල් වෙත ඉතා පහසුවෙන් සම්බන්ධ වීමටත්, තමන්ට කැමති වේලාවන් තෝරාගැනීමේ වැඩි පහසුවක් ලබාගැනීමටත් පාරිභෝගිකයන්ට මෙහිදී අවස්ථාව හිමිවෙනවා. මෙම නව ගුවන් ගමන් සේවාව, ශ්‍රී ලංකාව සහ ලෝකයේ සෙසු රටවල් අතර සංචාරක කර්මාන්තය සහ වෙළෙඳාම නංවාලීමට සහය වන අතරම, අපගේ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීමටත් අප නිරන්තරයෙන් කැපවී සිටිනවා" ලෙසයි.

    සිංගප්පූරු ගුවන් සේවයේ www.singaporeair.com වෙබ් අඩවිය සහ වෙනත් බෙදාහැරීමේ ජාලා හරහා ටිකට්පත් මිල දී ගත හැකිය.