සිනොපෙක් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අනුරාධපුරයේ නව මුහුණුවරකින් යුත් පිරවුම්හල් පෙළක් විවෘත කෙරේ

    February, 13, 2026

    සිනොපෙක් සමාගම, අනුරාධපුර ප්‍රදේශයේ නවීකරණය කරන ලද ඉන්ධන පිරවුම්හල් තුනක් සහ නවතම ඉන්ධන පිරවුම්හලක් පසුගියදා සිය ජාලයට එක් කරනු ලැබීය. මෙම නව පිරවුම්හල් පෙළ විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සහ ප්‍රජා ප්‍රමිතීන් නංවාලීම සඳහා සිනොපෙක් සමාගම දක්වන කැපවීම යළිත් වරක් තහවුරු කරන්නට සමාගමට හැකි විය. මෙය Clean Sri Lanka ජාතික වැඩසටහනට සහය දක්වමින් සමාගමේ ජාතික ව්‍යාප්තියේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළ සිදුවීමක් ද විය.

    එප්පාවල, ශ්‍රාවස්තිපුර, නව නගරය සහ නගරයේ උතුරු මායිම යන ස්ථානවල පිහිටා ඇති මෙම පිරවුම්හල්, සිනොපෙක් සමාගමේ උතුරු මැද පළාතට පැමිණීම ද සනිටුහන් කරයි. විශේෂයෙන් අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද New City Lanka පිරවුම්හල, පසුගිය වසරේ මුලදී මඩු වන්දනා සමයට සමගාමීව ආරම්භ කරන ලද අතර, මෙහි ඇති ජල පෙරන පද්ධතිය විශේෂ පහසුකමක් ලෙස කැපී පෙනේ. මෙම පිරවුම්හල එවැනි පහසුකමක් සහිත දෙවැනි පිරවුම්හල වේ. ජනතාවට පිරිසිදු ජලය සැපයීම සඳහා සිනොපෙක් ආරම්භ කළ Clear Spring සමාජ සත්කාරක මුලපිරීම හරහා සිදු කළ තවත් මෙහෙවරකි.

    ශ්‍රී ලංකාවේ ප්‍රජා සංවර්ධන අවශ්‍යතා සහ රට පිළිබඳව සිදු කරන ලද පුළුල් අධ්‍යයනයන් තුළින්, උතුරු මැද පළාතේ ජනතාවට පිරිසිදු පානීය ජලය සඳහා ඇති දැඩි අවශ්‍යතාවය සිනොපෙක් සමාගම විසින් හඳුනාගෙන ඇත. පිරිසිදු පානීය ජල හිඟය මෙම ප්‍රදේශවල ජනතාවට සැලකිය යුතු සෞඛ්‍ය අවදානම් ඇති කරයි.

    මෙම අවස්ථාවට Clean Sri Lanka වැඩසටහනේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී, සමරතුංග හේරත මහතා සහභාගී විය. ඔහුගේ පැමිණීම මෙම මුලපිරීමේ ජාතික වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, පාරිසරික ප්‍රමිතීන් සහ ප්‍රජා යහපැවැත්ම දියුණු කිරීම සඳහා සිනොපෙක් සමාගම ගෙනයන දිගුකාලීන හවුල්කාරිත්වයට රජයේ පිළිගැනීම ද තහවුරු කරයි.

    මෙම ස්ථාන හතරම Clean Sri Lanka කමිටුව විසින් කරන ලද නිර්දේශයන්ට අනුකූල වන අතර, වැඩිදියුණු කරන ලද වැසිකිළි, ප්‍රතිසංස්කරණය කරන ලද සේවා ස්ථාන සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම් වලින් සමන්විත වේ. නවීකරණය කරන ලද ස්ථාන අතරට අලුතින් ඉදිකරන ලද පිරවුම්හලක් වන Sinoceylon ඇතුළත් වන අතර එය ඉන්ධන සිල්ලර වෙළඳාම සහ පාරිභෝගික සේවය අතින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීමට සමාගම දක්වන කැපවීම පිළිබිඹු කරන්නකි. මෙම ස්ථානවල ඇති විශේෂත්වය නම්, Sinopec අනුගමනය කරන පියවර හයේ ඉන්ධන පිරවුම් ක්‍රමය, නවීකරණය කරන ලද පහසුකම් සහ ඉදිරි පෙළ කාර්ය මණ්ඩලය සඳහා වැඩිදියුණු කළ බලශක්ති අංශයේ පුහුණු වැඩසටහන් ය.

    "මේවා සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල්වලට වඩා වැඩි විශේෂත්වයකින් යුක්තයි. මෙම ස්ථාන අනුරාධපුරය ප්‍රදේශයේ මෙන්ම ලාංකික ජනතාව සමඟ අපේ ඇති විශ්වාසය, ගෞරවය සහ හවුල්කාරිත්වය ප්‍රකාශ කරන සංකේතයන්. අපගේ අලෙවිකරුවන් සමඟ හවුල්කාරිත්වය පුළුල් කිරීමට මෙන්ම මෙම ඓතිහාසික රාජධානියේ අනුරාධපුර නගරයට මෙවැනි පහසුකමක් පිරිනැමීමට ලැබීම අපට ගෞරවයක්." යනුවෙන් සිනොපෙක් හි සාමාන්‍යාධිකාරී වැන්ග් හයිනි පැවසීය.

    අනුරාධපුරයේ ඉදිකළ සිනොපෙක් සමාගමේ මෙම නව මුහුණුවරකින් යුත් පිරවුම්හල්, ප්‍රදේශයට ගුණාත්මක සේවාවක් සහ යටිතල පහසුකම් විමධ්‍යගත කිරීම සඳහා විශේෂයෙන් සිදු කරන ලද ආයෝජනයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මෙම ස්ථාන, ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්, පවුල් සහ සේවකයින්ගේ අවශ්‍යතා සඳහා සකස් කර තිබීම ද විශේෂත්වයකි.

    මෙම විවෘත කිරීම තුළින් බලශක්ති අංශය තුළ පුහුණුව සහ ධාරිතාව ගොඩනැගීම සඳහා සිනොපෙක් ගෙනයන කැපවීම ද ඉස්මතු විය. පසුගිය වසර දෙක තුළ, සමාගම පළාත් 9 පුරා පිරවුම්හල් ක්‍රියාකරුවන් 300කට අධික සංඛ්‍යාවක් සඳහා හදිසි ගිනි ප්‍රතිචාර, ප්‍රථමාධාර සහ ආරක්ෂක ක්‍රියාවලි පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වනු ලැබීය. ක්ෂේත්‍රයේ වර්ධනය වන වෘත්තීය ඉල්ලීම් සපුරාලමින් පිරවුම්හල් කළමනාකරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා මෙම බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

    අලෙවිකරුවන්ගේ සහයෝගය ඇතිව, සිනොපෙක් සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රජා මූලික බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස සිය භූමිකාව අඛණ්ඩව ශක්තිමත්ව සිදු කරගෙන යන අතර, යටිතල පහසුකම් සඳහා සිදු කරන සෑම ආයෝජනයක්ම ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ ගෝලීය තිරසාර මිණුම් සලකුණු සමඟ සම්බන්ධ වී ඇත. ඉදිරි මාසවලදී, සමාගම සිය Clear Spring ව්‍යාපෘතිය තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන අතර, රට පුරා සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ඉන්ධන පහසුව සැලසීම විධිමත් කරමින් නව්‍ය සේවා විශේෂාංග හඳුන්වා දෙනු ඇත.