සියැට් වෙතින් මිලියන 600 ක ආයෝජනයක්

    April, 1, 2014

    ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක්ම නිපදවන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමට නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට රුපියල් මිලියන 600 ක ආයෝජනයක් සිදුකරයි.

    මෙම නව කර්මාන්ත ශාලාව කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණය සමග ඒකාබද්ධ වන ලෙස පිහිටුවා තිබේ. සමාගම සඳහන් කරන්නේ මේ තුළින් දේශීය හා අපනයන වෙළෙඳ පොළ සඳහා අවශ්‍ය සියැට් සන්නාමය සහිත ටයර් නිෂ්පාදනය පහසුවෙන් වර්ධනය කිරීමට අවස්ථාව තිබෙන බවයි.

    2014 අපේ‍්‍රල් මාසයේ සිට මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ පසුව සියැට් කැළණි සමාගමේ රේඩියල් ටයර් නිපදවීමේ ධාරිතාවය මසකට ටයර් 23,000 ක සිට ටයර් 39,000 ක් දක්වා 70%කින් ඉහළ යනු ඇත.
    ශ‍්‍රී ලංකාවේ රේඩියල් සහ වාණිජ ටයර් වෙළෙඳ පොළේ වෙළෙඳ පොළ ප‍්‍රමුඛයා වන සියැට් 2013-14 දෙවැනි කාර්තුවේ සිට මෙරට ටයර් අවශ්‍යතාවයෙන් 50% කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවයි. සියැට් කැළණි සමාගම මාසයකදී නිපදවන ටයර් ටොන් 1450 ක ප‍්‍රමාණයෙන් මෙට්ටි‍්‍රක් ටොන් 500 ක් පමණ දකුණු ආසියාව, මැදපෙරදිග, අප‍්‍රිකාව ඇතුළු තවත් බොහෝ වෙළෙඳ පොළ වලට අපනයනය කරයි.