සිලෝන් ටී සවුදි අවශ්‍යතා සපුරයි

    July, 25, 2016

    සවුදි රජයේ ආහාර හා ඖෂධ අධිකාරියේ පිරිවිතර (specifications) සපුරාලීමට ශ්‍රී ලංකා තේ සමත් වී ඇති බව අරාබ් නිවුස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී. පසුගිය සතියේ ශ්‍රී ලංකා දූත පිරිසක් සවුදි අගනුවර රියාද් නුවර දී හමු වූ අවස්ථාවේ දී සවුදි රජය විසින් මේ බව නිවේදනය කර තිබේ.

    එහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ, ජාත්‍යන්තර ප්‍රවර්ධන හසිත ද අල්විස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ කියා සිටියේය. සවුදි ආහාර හා ඖෂධ අධිකාරිය ශ්‍රී ලංකාවේ තේ ඉතා උසස් තත්ත්වයෙන් යුක්ත බව සඳහන් කළා. එසේම සවුදි ආහාර හා ඖෂධ අධිකාරිය සහ ගල්ෆ් ප්‍රමිති සංවිධානය යන ආයතන දෙකේම පිරිවිතර (specifications) සපුරාලීමට ශ්‍රී ලංකා තේ සමත් වී තිබෙනවා“.

    මෙම අවස්ථාවේ දී සවුදි ආහාර හා ඖෂධ අධිකාරියේ උසස් නිලධාරියෙකු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම වෙත පවසා තිබෙන්නේ වාර්ෂිකව සවුදි අරාබියට තේ මෙට්‍රික් ටොන් 36,000 ක් ආනයනය කරනු ලබන බවත්, එයින් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ ආනයනය කරනුයේ ශ්‍රී ලංකාවෙන් බවත්ය.
    සවුදි සංචාරයට එක් වූ ශ්‍රී ලංකා තේ නියෝජිත පිරිස මාධ්‍ය හමුවට එක් වූ අයුරු පහත ඡායාරූපයෙන් දැක්වේ.


    වමේ සිට - නිශාන්ත ජයතිලක (අධ්‍යක්ෂ, විශ්ලේෂක සේවා, ශ්‍රී ලංකා තේ මණ්ඩලය), ආචාර්ය සරත් අබේසිංහ (අධ්‍යක්ෂ තේ පර්යේෂක ආයතනය), හසිත ද සිල්වා (අධ්‍යක්ෂ, ජාත්‍යන්තර ප්‍රවර්ධන, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ)