සීනි නීතියට කෝල්ඩ් ස්ටෝර්ස් සූදානම්

    June, 28, 2016

    සිසිල් බීමවල අඩංගු වන සීනි ප්‍රමාණය වර්ණ මගින් සටහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත්‍රය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය.

    මේ සම්බන්ධයෙන් අලියා සන්නාමය යටතේ සිසිල් බීම නිපදවන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් හි අලෙවි ප්‍රධානී සතිෂ් රත්නායක මහතාගෙන් අද දෙරණ Biz විමසීමක් කළ අතර එහිදී ඒ මහතා කියා සිටියේ මෙම නීතිය සමඟ තම සමාගම එකඟ වන බවත් රජයේ නියමයන් අනුව කටයුතු කිරීමට පියවර ගන්නා බවත්ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සතිෂ් රත්නායක මහතා මෙසේ කියා සිටියේය. “මේ සඳහා අප පෙර සිටම සූදානම් වෙලා සිටියා. මේ නිසා අපේ බීමවල සීනි ප්‍රමාණය 30% කින් අඩු කරන්න පියවර ගත්තා.“

    අගෝස්තු 01 වන දින සිට මෙම නීතිය අනුව ක්‍රියාකිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය නවතම ලේබල් ආදිය මේ වන විට සූදානම් කරමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් අද දෙරණ Biz සමඟ පැවසීය.

    ගැසට් නිවේදනයට අනුව සෑම බීම වර්ගයකම මිලි ලීටර් 100ක් සඳහා ග්‍රෑම් 11ට වැඩි ඉහළ සීනි මට්ටම අඩංගු නම් රතු වර්ණයෙන් ද, ග්‍රෑම් දෙකේ සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු වන්නේ නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් දෙකකට වඩා අඩු සීනි මට්ටමක් අඩංගු වන්නේ නම් කොළ වර්ණයෙන් ද සටහන් කළ යුතු වනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates