July, 9, 2015
සීෂෙල්ස් රාජ්‍යයේ ජනගහනය 90,000 ක් තරම් අඩු ප්‍රමාණයක් වුවත් එරටට පැමිණෙන සංචාරකයින් ජනගහනයට වඩා කිහිප ගුණයක් වැඩි නිසා එරට සමග ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමෙන් ලංකාවට වැඩි වාසියක් අත්කර ගත හැකිබව එරට රජයේ උසස් නිළධාරිනියක් සඳහන් කරයි.
සීෂෙල්ස් රාජ්‍යයේ කුඩා ව්‍යවසාය ප්‍රවර්ධන ඒජන්සියේ (Small Enterprise Promotion Agency) ප්‍රධාන විධායක නිළධාරීනී, පෙනී සී. බෙල්මොන්ට් (Penny C. Belmont) මහත්මිය මේ බව කොළඹදී සඳහන් කළාය.
ඇය මෙහිදී පැවසුවේ සීෂෙල්ස් රාජ්‍යයට මේ වනවිට සංචාරකයින් ලක්ෂ තුනක් පමණ වාර්ෂිකව පැමිණෙන බවත් ඉදිරියේදී මෙම ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බවයි.
මේ නිසා, ලංකාවේ ව්‍යාපාරිකයින්ට එරටට පැමිණෙන සංචාරකයින්ට සේවා සැපයීමේ වැඩි අවස්ථාව තිබෙන බව බෙල්මොන්ට් මහත්මිය කීවාය.
සීෂෙල්ස් රාජ්‍යයට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය මේ වනවිට එරටට ආනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කුරුඳු ඇතුළු කුළුබඩු එරටට යැවීමේ හොඳ අවස්ථාවක් ඇතැයිද ඇය මෙහිදී අප සමග සඳහන් කළාය.
සීෂෙල්ස් රාජ්‍යය අප්‍රිකානු මහද්වීපයට ප්‍රවේශවීමට හොඳම ස්ථානයක් බවත් එරට ඒක පුද්ගල ආදායම ඩොලර් 25,000 ක් පමණ වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ වනවිට, ලංකා බැංකුව ඇතුළු ශ්‍රී ලංකාවේ ආයතන කිහිපයක්ම එරට ක්‍රියාත්මක වේ.
මුදල් විශුද්ධිකරණය වෙනුවෙන් සීෂෙල්ස් රාජ්‍ය කටයුතු කරන බවට එල්ලවී තිබෙන චෝදනා ඇය ප්‍රතික්ෂේප කළාය.
Video Story