සුනිල් විජේසිංහගෙන් පුරප්පාඩු වූ NDB සභාපති පුටුව හේලීස් හිටපු සභාපතිවරයෙකුට

    April, 21, 2015

    ජාතික සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ සුනිල් විජේසිංහ මහතා එම තනතුරින් පසුගියදා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා හේලීස් සමාගම් සමූහයේ හිටපු සභාපතිවරයෙකු වන එන්.ජී. වික්‍රමරත්න මහතා පත්කරගෙන තිබේ.

    මේ අනුව, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තෝරා ගැනීම සිදුකර තිබෙන අතර වික්‍රමරත්න මහතා අප්‍රේල් 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

    පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලැබූ කිහිප දෙනෙකුටම ඉවත්වන ලෙස රජය පසුගියදා ලිපි මගින් දැනුම් දුන් අතර එයට හිස නමමින් සුනිල් විජේසිංහ මහතා ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

    මේ ආකාරයෙන්ම හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරය දැරූ ආචාර්ය රාණි ජයමහ මහත්මියද එම තනතුරින් ඉල්ලා අස්වූ අතර බැංකු කිහිපයක් රජයේ මෙම තීන්දුවට අභියෝග කිරීමට කටයුතු කර තිබුණි.

    ජාතික සංවර්ධන බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවන අතර හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක අයිතිය රජය සතුය.