සුමධුර භක්ති ගීත තරඟයක් සමඟින් NDB හිදී පවත්වන ලද පොසොන් සැමරුම් උත්සවය

    June, 19, 2023

    පොසොන් පොහෝ දිනය සැමරීම සඳහා සූදානමක් වශයෙන් NDBSRC 2023 කමිටුව, 2023 ජූනි 1 වැනි දින නවම් මාවතේ පිහිටි NDB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී භක්ති ගීත තරඟයක් සංවිධානය කළේ ය. දිගුකාලීන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය වූ මෙම වැඩසටහන, 2023-2024 වර්ෂය සඳහා පත් වූ NDB Staff & Recreational Club (NDBSRC) කමිටුව සංවිධානය කරන වාර්ෂික ආගමික උත්සවවලට සමගාමීව සංවිධානය කරන ලදී.

    තවද, මෙම වසරේ දී ප්‍රථම වරට, ශාඛා සහ විවිධ අංශවල කාර්ය මණ්ඩල ඇතුළු සියලුම NDB සේවකයින් සඳහා මෙම තරඟය විවෘත කිරීමට කමිටුව විසින් තීරණය කරන ලදී. ඒ අනුව, ව්‍යාපාර බැංකුකරණ, කාඩ්පත්, මානව සම්පත් (HR), ලීසිං අයකරගැනීම්, නීති, හවුල් සේවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය අයකරගැනීම් යන අංශ ද ඇඹිලිපිටිය, කොටුව, හංවැල්ල, මහවැව, නිට්ටඹුව, සහ දකුණු කලාපීය යන ශාඛාවන් විසින් ද තම ගායනා ඇතුළත් වීඩියෝ පට ඉදිරිපත් කරන ලදී.

    කීර්තිමත් සංගීතඥයකු සහ වොයිස් ශ්‍රී ලංකා සීසන් 2 හි (Voice Sri Lanka Season 2) තරඟකරුවෙකු වූ විශාරද නිරෝෂන් වීරසේකර මහතා පළමු වටයේ තේරීම් කටයුතු සිදු කළේ ය. හඬෙහි ගුණාත්මකභාවය සහ ගීතයේ තාරතාව යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ විශාරද වීරසේකර මහතා විසින් වීඩියෝ පට අටක් තෝරාගන්නා ලදී.

    අවසන් වටයට සුදුසුකම් ලැබූ තරඟකරුවන් ඉදිරිපත් කළ සජීවී ගායනා ප්‍රධාන තරඟයට ඇතුළත් විය. ප්‍රවීණ සංගීතවේදීයකු සහ තනු නිර්මාපකයෙකු වන රෝහණ බෝගොඩ මහතා විසින් එම තරඟකරුවන් විනිශ්චය කරන ලදී. බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වූ ප්‍රථම ස්ථානය මහවැව ශාඛාවට හිමි වූ අතර, දෙවැනි ස්ථානය සහ තුන්වැනි ස්ථානය පිළිවෙලින් දකුණු කලාපයටත්, මානව සම්පත් අංශයටත් හිමිවිය.

    තරඟයේ සාර්ථක නිමාව සනිටුහන් කිරීම සඳහා NDBSRC කමිටුව විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සලක් ද මෙහිදී පවත්වන ලදී.