සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු වෙලා නැහැ – කොටස් වෙළෙඳපොළ අදත් පහළට

    December, 19, 2016

    ලංකා බැංකුවට අයත්ව තිබූ සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විදේශ පාර්ශවයකට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබුණත් එම ගනුදෙනුව අවලංගු වීම අද දිනයේ දී (19) සිදුව නොමැති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කොටස් තැරැව්කරුවකු කියා සිටියේ පසුගිය සිකුරාදා (16) දින අවසානයේ දී සෙලාන් බැංකුවේ විදේශීය කොටස් හිමිකාරීත්වය, කොටස් 13,198,305 කින් ඉහළ ගොස් තිබෙන බවත්, අද (19) දින අවසානයේ දී එම ප්‍රමාණයේ වෙනසක් සිදුව නැති බවත්ය. යම් හෙයිකින් අදාළ ගනුදෙනුව අවලංගු වූවා නම් මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි (CDS) දත්තවලට අනුව සෙලාන් බැංකුවේ විදේශීය කොටස් හිමිකාරීත්වය අදාළ කොටස් ප්‍රමාණයෙන් අඩුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

    මේ අතර අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18.04 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,250.57 ක් ලෙසින් වාර්තා විය. රුපියල් මිලියන 260.68 ක පිරිවැටුමක් දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වී තිබුණු අතර එහිදී රුපියල් මිලියන 73.8 ක වටිනාකමකින් යුතු නෙස්ලේ සමාගමේ කොටස් 36,000 ක් රු. 2,050 බැගින් ගනුදෙනු වීම දිනය තුළ තනි සමාගමකින් වාර්තා වූ වැඩිම පිරිවැටුම විය.

    මේ අතර ලංකා බැංකුව විසින් 95.55% ක කොටස් හිමිකාරීත්වය දරනු ලබන ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ කොටස් මිල රු. 70.00 දක්වා රු. 14.90 කින් පහළ යාම කැපී පෙනුනු කරුණක් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 17.55% ක මිල පහළ යාමකි. තවද දිනය තුළ දී රේණුකා ෆුඩ්ස් පීඑල්සී හි ඡන්ද බලය අහිමි කොටසක මිල 18.78% කින් ද, කැලණිවැලි වැවිලි සමාගමේ කොටසක මිල 18.70% කින් ද දිනය තුළ පහළ යන ලදී.

    අඛණ්ඩව කොටස් වෙළෙඳපොළ පහළ ගිය 5 වන දිනය අදයි.