සෙලාන් බැංකුවෙන් රුපියල් මිලියන දස දහසක ණයකර නිකුතුවක්

    August, 29, 2017

    ඊයේ (28) පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවෙන් පසු මිලියන 60 ක ශ්‍රේණිගත, අනාරක්ෂිත, යටත් කළ හැකි, නිදහස් කළ හැකි ණයකර නිකුතුවක් කිරීමට තීරණය කළ බව සෙලාන් බැංකුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙහිදී අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 40 ක් නිකුත් කිරීමට බැංකුව සූදානම් කර තිබේ. එකක් රුපියල් 100.00 බැගින් නිකුත් කරනු ලබන මෙම ණයකර නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට යෝජිත මුළු අරමුදල රුපියල් බිලියන 10 කි.

    මෙහිදී බැංකුව විසින් වැඩිදුරටත් නිවේදනය කර සිටිනුයේ මෙම ණයකර නිකුතුව තුළින් සම්පාදනය කර ගැනීමට යෝජිත අරමුදල් බැංකුවේ බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතා මට්ටම සම්පූර්ණ කර ගැනීමට ඉවහල් වනු ඇති බවයි.

    අදාළ ණයකර සඳහා වන පරිණත කාලය අවම වශයෙන් වසර 5 ක් හෝ උපරිම වශයෙන් වසර 10 ක් විය හැකි බවත්, ඒ සඳහා වන පොළී අනුපාතික තීරණය කිරීම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුතුව විවෘත කිරීමට ප්‍රථමව සිදුකිරීමට නියමිත බවත් නිවේදනය කර සිටී.