සෙලාන් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 5.7 ඉක්මවයි

    March, 14, 2016

    සෙලාන් බැංකුව, 2015 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 5,777 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව 24.25% ක වර්ධනයකි. මේ අතර බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 3,831 ක් ලෙසින් වාර්තා වන අතර පසුගිය 2014 මූල්‍ය වර්ෂයේ බදු ගෙවීමෙන් පසු ලාභය වූ රුපියල් මිලියන 3,079 හා සැසඳීමේ දී 24.44% ක ඉහළ යාමකි.

    එසේම 2015 වර්ෂය තුළ දී බැංකුවේ ශුද්ධ පොළී ආදායම රුපියල් මිලියන 11,165 සිට රුපියල් මිලියන 11,825 දක්වා 5.9% කින් වර්ධනය වී තිබේ. තවද මෙම කාලපරිච්ඡේදය තුළ දී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 19.5% කින් ඉහළ නැග තිබෙනුයේ රුපියල් මිලියන 2,257 සිට රුපියල් මිලියන 2,697 දක්වා වර්ධනයක් සනිටුහන් කරමිනි. මෙය පසුගිය වසර ගණනාවක් පුරාවට බැංකුව විසින් අඛණ්ඩව පවත්වා ගෙන ආ සිය කාර්යසාධනයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.

    වෙනත් මෙහෙයුම් ආදායමට අන්තර්ගත වූ මූල්‍ය උපකරණ, විනිමය අනුපාත හා වෙළෙඳ කටයුතු වලින් ලද ලාභය 2015 වසරේ දී රුපියල් මිලියන 2,809 සිට රුපියල් මිලියන 1,624 දක්වා 42.2% කින් පහළ ගොස් ඇත. පොළි අනුපාතික ඉහළ යාමේ ප‍්‍රවණතාව හමුවේ රජයේ සුරැකුම්පත් වලින් ලද ප‍්‍රාග්ධන ලාභය අඩුවීම මීට ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

    මේ අතර පිරිවැය සීමා කිරීම් පිළිබඳව බැංකුවේ දැඩි අවධානය මෙම වකවානුව තුළ දී යොමුව තිබේ. එහිදී 2014 වසරේ දී රුපියල් මිලියන 8,109 ක්වූ පිරිවැය 2015 වසර තුළ දී මිලියන 8,625 දක්වා 6.36% කින් වැඩි වී ඇත. මෙයින් වියදම් වර්ධනය සීමා කිරීම් පැහැදිලිවේ.

    සමාලෝචිත වර්ෂය තුළ දී බැංකුවේ ශුද්ධ අත්තිකාරම් ප‍්‍රමාණය රුපියල් මිලියන 154,963 සිට රුපියල් මිලියන 193,104 දක්වා 24.61% කින් වර්ධනය වී තිබේ. වසරේ මුල් භාගය තුළ මන්දගාමී ණය වර්ධනයක් පෙන්නුම් කළ ද තෙවන හා හතරවන කාර්තුවල දී එහි ඉහළ යාමක් වාර්තා කර ඇත.

    මේ අතර 2015 වර්ෂය තුළ දී සෙලාන් බැංකුවේ තැන්පතු පදනම රුපියල් මිලියන 185,924 සිට රුපියල් මිලියන 224,525 දක්වා වැඩි වී තිබේ. 2015 වසර අවසානය වන විට බැංකුවේ අඩු වියදම් තැන්පතු පදනම 36% කින් ඉහළ ගොස් ඇත.

    මෙම වකවානුව තුළ බැංකුව විසින් අනුගමනය කරන ලද ණය නැවත අයකර ගැනීමේ ඵලදායී කි‍්‍රයාපිළිවෙත් හේතුවෙන් සිය වත්කම් වල ගුණාත්මක බව මනා කොට වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් 2014 දෙසැම්බර් මාසය අවසානය වන විට 7.69% ක්ව පැවති බැංකුවේ අකී‍්‍රය ණය අනුපාතිකය (අවිනිශ්චිත පොළිය අඩු කළ පසු) 2015 වසර අවසානය වන විට 4.68% ක පහළ අගයයක් කරා ගෙන ඒමට හැකියාව ලැබී තිබේ. මෙය 2009 වසරේ සිට බැංකුව විසින් අනුගමනය කරන ලද තිරසාර හා ඵලදායී ණය නැවත අයකරගැනීමේ පරිශ‍්‍රමයෙහි සාර්ථක ප‍්‍රතිඵලයකි.

    සෙලාන් බැංකුව විසින් පසුගිය කාලය තුළ දියත් කරනු ලැබූ ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත පාසල් 100 ක් සඳහා පුස්තකාල 100 ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මෙම කාලය තුළද අඛණ්ඩව කරගෙන යන ලදී. 2015 වසර තුළ දී තවත් පාසැල් පුස්තකාල 29 ක් විවෘත කරනු ලැබූ අතර මේ දක්වා එවැනි පාසැල් පුස්තකාල 80 ක් ආරම්භ කිරීමට බැංකුව සමත් වී තිබේ.

    සෙලාන් බැංකුව විසින් කි‍්‍රයාවට නංවන ලද සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙල පසුගිය 2015 වසර පුරාවටම ද ඉතා සකී‍්‍රය අයුරින් කි‍්‍රයාත්මක කරනු ලැබීය. මෙහිදී පිළිමතලාව සහ පේරාදෙණිය නවතම ශාඛා 2 ක් විවෘත කරනු ලැබූ අතර, මේ වන විට බැංකුවේ ශාඛා ජාලයෙන් 85% කට වැඩි ප‍්‍රමාණයක් මුළුමනින්ම නවීකරණය කර ඇත. මේ අනුව 2015 දෙසැම්බර් 31 වනදා වන විට බැංකුවේ ශාඛා ජාලය ශාඛා 159 කින් ද, ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර 182 කින් හා ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථාන 95 කින් සමන්විත වී තිබේ.

    2015 මූල්‍ය වර්ෂය අවසානයේ දී බැංකුවේ මුළු ප‍්‍රාග්ධන ප‍්‍රමාණතා අනුපාතිකය 12.87% ක් සහ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණතා අනුපාතිකය 12.24% ක් ලෙසින් සඳහන් වේ. මෙම අනුපාතික දෙකම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති මට්ටමට වඩා ඉහළ අගයයන් වේ. තවද 2015 ජූලි මාසය තුළ දී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A-lka ශ්‍රේණිය අත්පත් කර ගනිමින් සිය ස්ථායිභාවය මනාව තහවුරු කිරීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ.

    බැංකුව විසින් වාර්තා කරන ලද මෙම සුවිශේෂී කාර්යසාධනයත් සමඟම 2015 වසර අවසානයේ දී බැංකුවේ කොටසක ඉපැයුම රුපියල් 11.11 ක් වශයෙන් වාර්තා වේ. තවද බැංකුවේ ප‍්‍රතිලාභ (බදු ගෙවීමට පෙර) වත්කම් සහ හිමිකම් මත ප‍්‍රතිලාභ පිළිවෙලින් 2.16% ක් සහ 15.62% ක් වශයෙන් වේ. 2015 දෙසැම්බර් 31 වැනිදා වන විට බැංකුවේ කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් අගය රුපියල් 72.63 කි. (සමූහයේ මෙම අගය රුපියල් 76.21 ලෙසින් වාර්තා වේ).

    ඡායාරූපය - සෙලාන් බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා සහ සෙලාන් බැංකුවේ අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා