සෙලින්කෝ ලයිෆ්, ත්‍රිකුණාමලය රෝහලට සහ ත්‍රිකුණාමලයේ පාසැලකට ආධාර කරයි

    December, 9, 2015

    සෞඛ්‍යය සහ අධ්‍යාපනික අංශ වල සිදුකරන සමාජ සත්කාරක ව්‍යාපෘති යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් ත්‍රිකුණාමලයේ ජනතාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

    මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තට්ටු හතරකින් යුතු පරිසර හිතකාමී නව කාර්යාල ගොඩනැගිල්ලක් ත්‍රිකුණාමලය නගරයේ විවෘත කිරීමට සමගාමීව ත්‍රිකුණාමලය රෝහලට ජංගම වෙන්ටිලේටරයක් පරිත්‍යාග කර ඇති අතර ත්‍රිකුණාමලයේ ශාන්ත මරියා විදුහලේ පන්ති කාමරයක්ද ගොඩ නගන ලදී.

    ඇමරිකාවේ නිව්පෝර්ට් මෙඩිකල් නිපදවන Newport HT70® වෙන්ටිලේටරය ඉතාමත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර මෙය ඉතාමත් ආරක්ෂාකාරී වේ. ළදරුවන්ට මෙන්ම වැඩිහිටි රෝගීන්ට ශ්වසන සහයෝගය ලබාදීමට මෙය උපකාරී වේ. මේ ආකාරයේම වෙන්ටිලේටරයක් සෙලින්කෝ ලයිෆ් විසින් කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කළ අතර ඒ තුළින් මේ දක්වා බොහෝ රෝගීන්ට සෙත සැලසී ඇත.

    ත්‍රිකුණාමල රෝහල වෙත සමාගම විසින් පරිත්‍යාග කළ වෙන්ටිලේටරය රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුක්ත වන අතර හෘද අක්‍රීයවීම, උග්‍ර වූ ඵුප්පුසීය ඉදිමුම, නියුමෝනියාව හේතුවෙන් සිදුවන ශ්වසන අක්‍රීයවීම්, ඇදුම, කල්ගිය අවහිරකාරී ඵුප්පුසීය ආබාධය (COPD), ischaemic ආඝාතය, අභ්‍යන්තර මස්තීෂ්ක රක්තපාතය හෝ අපස්මාර ගැස්ම සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම උපකරණය ප්‍රයෝජනවත් වේ.

    සෙලින්කෝ ලයිෆ් විසින් සිසුන් 1700 ක් සහ ගුරුවරුන් 96 ක් සිටින ත්‍රිකුණාමලය ශාන්ත මරියා විද්‍යාලයට ගොඩනගා දුන් පන්ති කාමරය තුළින් විදුහලේ තදබදයට යම් විසඳුමක් ලැබේ. සමාගම විසින් මේ දක්වා දිවයින පුරා පිහිටි පාසැල් 64 ක් වෙනුවෙන් පන්ති කාමර ගොඩනැගිලි තනා දී ඇත.

    සෙලින්කෝ ලයිෆ් විසින් ත්‍රිකුණාමලය නගරයේ ඉදිකළ කාර්යාල ගොඩනැගිල්ල සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

    2004 වසරේ සිට ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිඛෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    (ඉහළ) සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා විසින් ත්‍රිකුණාමලයේ ශාන්ත මරියා විදුහලට පරිත්‍යාග කළ ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කළ අයුරු. (පහළ) ආර්. රෙන්ගනාදන් මහතා සහ සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂකවරුන් විසින් ත්‍රිකුණාමල රෝහල වෙත වෙන්ටිලේටරය පරිත්‍යාග කළ අවස්ථාව.