සෙලින්කෝ ලයිෆ් වැල්ලවායේ සහ තලාවේ ප‍්‍රාථමික විදුහල් දෙකක් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකරයි

    August, 23, 2017

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයතනික සමාජ සත්කාරය හේතුවෙන් තලාව සහ වැල්ලවාය යන ප‍්‍රදේශවල ප‍්‍රාථමික අංශයේ පාසැල් දෙකක සිසුන්ට තාවකාලික පන්ති කාමර හෝ ගස් යට අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වී ස්ථීර පන්ති කාමර වෙත යෑමේ භාග්‍යය උදාවී තිබේ.

     

    ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා වැල්ලවාය කුඩාඔය ප‍්‍රාථමික විදුහල සහ තලාවේ කාරියමඩිත්ත වීරොදෝගම ප‍්‍රාථමික විදුහල සඳහා පන්ති කාමර ගොඩනැගිලි දෙකක් ඉදිකර දෙන ලදී. මෙම පාසැල් දෙකේම අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ පළමු වසරේ සිට පස්වන වසර සඳහා පමණි.

     

    මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවල පිහිටි මෙම පාසැල්වල පිළිවෙලින් සිසුන් 250 දෙනෙකු, ගුරුවරුන් අට දෙනෙකු සහ සිසුන් 450 දෙනෙකු, ගුරුවරුන් 12 දෙනෙකු සිටී.

     

    මෙරට අඩු පහසුකම් සහිත පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර දීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් ක‍්‍රියාත්මක කරන සමාජ සත්කාරක වැඩසටහන යටතේ ගොඩනැගූ 67 වන සහ 68 වන පන්ති කාමර ගොඩනැගිලි ලෙස මෙම පන්ති කාමර දැක්විය හැකිය.

     

    මෙම පන්ති කාමර ගොඩනැගිලි විවෘත කිරීම ඉතාමත් උද්යෝගීමත් අයුරින් මෙම පාසැල් දෙකේ දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. වැල්ලවායේ පැවති විවෘත කිරීමේ උත්සවයට ප‍්‍රදේශයේ පාසැල්වල විදුහල්පතිවරුන් සහභාගී වූ අතර වීරොදෝගම ප‍්‍රාථමික විදුහගේ පැවති විවෘත කිරීමේ උත්සවය සඳහා කළාපීය අධ්‍යාපන නිළධාරීවරයා සහභාගී විය.

     

    2004 වසරේදී ලූණුගම්වෙහෙර, තිස්ස ප‍්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් ඇරඹුණු සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාසැල් යටිතල පහසුකම් ගොඩනැගීමේ ව්‍යාපෘතිය තුළින් යාපනය, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මඩකළපුව, සිත්තන්ඩි, මොල්ලිපතාන, අයිත්‍යෙමලෙයි, ඇඹිලිපිටිය, නිවිතිගල, බෙලිගල, අවිස්සාවේල්ල, දෙනියාය, කඹුරුපිටිය, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, මහනුවර, පිළිමතලාව, මඩුල්කැලේ, රිකිල්ලගස්කඩ, රජවැල්ල, මාතලේ, ගල්ගමුව, පදවිය, බොරළුවැව, අනුරාධපුරය, මොණරාගල, ආනමඩුව, මතුගම, කිලිනොච්චිය සහ මන්නාරම යන ප‍්‍රදේශවල පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර තිබේ.

     

    සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය සමාජ සත්කාරක වැඩසටහන් නිර්වචනය කර තිබෙන්නේ ‘අවශ්‍යතා සහිත ජනතාවගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන කටයුතු වෙත අර්ථවත් ලෙස මැදිහත් වන අතරම ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු රැුකවරණයක් සහ මූල්‍ය සුරක්ෂිතතාවයක් ලබාදෙමින් මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවා තිරසාර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීමට සමාගම අඛණ්ඩව කැප විය යුතුය.’ යනුවෙනි.

     

    අවශ්‍යතාවය සහිත පාසැල්වල යටිතල පහසුකම් ගොඩනැගීමට අමතරව, සෙලින්කෝ ලයිෆ් සිය ‘වෛද්‍ය හමුව’ නැමති නොමිල වෛද්‍ය කඳවුරු මාලාව මගින් සෑම වසරකම රට පුරා සිටින බොහෝ පිරිසකට සෙත සලසයි. මීට අමතරව රජයේ රෝහල් වලට අත්‍යවශ උපකරණ පරිත්‍යාග කීරීමේ වැඩසටහනක්ද සමාගම කි‍්‍රයාත්මක කරනු ලබයිග මෙමගින් ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ජාතික රුධිර පාරවිලයන සේවාව සමග ඒකාබද්ධ වෙමින් ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කරයි.

     

    1988 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම 2004 වසරේ සිට අඛණ්ඩව අවුරුදු 13 ක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්ව තිබේ. සෙලින්කෝ ලයිෆ් විසින් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් මෙරට මිලියනයකට ආසන්න ජනතාවගේ ජීවිත ආවරණය කර තිබෙන අතර නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සමාගම මිනුම් ලකුණක් වේ.

     

    සෙලින්කෝ ලයිෆ් විසින් තලාව පාසලේ ඉදිකළ පන්ති කාමර ගොඩනැගිල්ල (ඉහළ) සහ වැල්ලවාය පාසලේ ඉදිකළ පන්ති කාමර ගොඩනැගිල්ල