සෙලින්කෝ ලයිෆ් විධායක නිළධාරීන් සමාජ සත්කාරක වැඩසටහන් 4ක් මසකින් නිම කරයි

    September, 30, 2016

    නායකත්ව ක‍්‍රමවේදයන් පහක් භාවිතා කරමින් ප‍්‍රජාව සවිබල ගැන්වීමෙන් විශාල කාර්ය භාරයක් සිදුකරන්නේ කෙසේදැයි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්ගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් මෑතකදී ඉතා කදිමට පෙන්නුම් කළේය.

    ග‍්‍රාමීය ප‍්‍රජාවට මාරාන්තික වකුගඩු රෝගයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබාදීමේ සිට ග‍්‍රාමීය පාසැලකට පුස්තකාලයක් ලබාදීම, ප‍්‍රජා ආයතනවල රුක් රෝපණ වැඩසටහනක් සිදුකිරීම සහ අබලන් වූ පෙර පාසැලක් නවීකරණය කිරීම දක්වා මෙම සමාජ සත්කාරක වැඩසටහන් පෙළ විහිදුණු අතර ඒවා ඉතාමත් සාර්ථකත්වයට පත්විය. මෙම වැඩසටහන් හතර සිදුකළ කණ්ඩායම් වලට 24 දෙනෙකු ඇතුළත් වූ අතර මාසයක් වැනි කාලයක් තුළදී වැඩසටහන් නිමකිරීම කැපී පෙනෙන්නේ මෙවැනි දෑ කිරීමට සමහර ආයතන වසරක් හෝ ඊටත් වැඩි කාලයක් වැය කරන නිසාවෙනි.

    ආයතනික පුහුණු වැඩසටහනක කොටසක් ලෙස සමාජ සත්කාරක වැසටහන් හතරක් සැලසුම් කර කි‍්‍රියාත්මක කිරීමේ මෙම අභියෝගයට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්‍ෂකවරුන් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහකාර සමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු යන තනතුරු දරන ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන් 24 දෙනෙකුගෙන් යුතු පිරිසක් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් හතරකට බෙදා තිබුණි. මාසයකට පසුව සෑම කණ්ඩායමක්ම සිදුකළ වැඩසටහන පිළිබඳවත් ඔවුන් ළඟාකරගත් ප‍්‍රතිඵල පිළිබඳවත් ඉදිරිපත් කිරීමක් කළ යුතුවිය.

    මේ අනුව, කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම්වල ඉංග‍්‍රීසි අකුරු යොදා ගනිමින් නිර්මාණය කළ zMCTRUSTZ කණ්ඩායම විසින් මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වූ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සිවලකුලම් ගම්මානයේ පවුල් 100 කට පානීය ජල අවශ්‍යතාවය සැපයීමට හැකි ‘රිවර්ස් ඔස්මොසිස්’ තාක්ෂණය භාවිතා කරමින් ජලයේ තිබෙන අපද්‍රව්‍ය ඉවත් කළ හැකි ජලය පිරිසිදු කිරීමේ යන්ත‍්‍රාගාරයක් ඉදිකර ක‍්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය මීට බොහෝ කලකට පෙර සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම ප‍්‍රජාවට ලබාදුන් ප‍්‍රජා ළිඳ සමග සම්බන්ධ කර තිබෙන අතර මෙම පිරිසිදු කිරීමේ යන්ත‍්‍රාගාරය ක‍්‍රියාත්මක කරන ආකාරය සහ නඩත්තු කරන ආකාරය පිළිබඳව ප‍්‍රජාවට පුහුණුවක්ද ලබාදෙන ලදී.

    ‘ට‍්‍රාන්ස්ෆෝමර්ස්’ නමින් හැඳින්වූ කණ්ඩායම සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා විසිරී ඇති ශාඛාවල සාමාජිකයින් දිරිමත් කරමින් පොත් එකතු කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලදී. මෙම පොත් යොදාගනිමින් හැටන් හි, පාසැලක් වෙත සම්පූර්ණයෙන් අළුත් පුස්තාලයක් තනාදීමට මෙම කණ්ඩායම කටයුතු කළේය. මීට අමතරව, මෙම සෑම පොතකටම හඳුනාගැනීමේ පත‍්‍රයක් සහ සිසුන්ට සාමාජික පත‍්‍රයක් සකස් කරමින් පොත් බැහැරට රැගෙන ගොස් කියවීමේ පද්ධතියක් මෙම කණ්ඩායම විසින් ගොඩනැගූ අතර එය කි‍්‍රයාත්මක කිරීමට පාසැලේ ගුරුවරුන්ට පුහුණුවක්ද ලබාදෙන ලදී. මෙම පාසැලේ සිසුන් 418 දෙනෙකු වෙත නව සපත්තු කූට්ටම් ප‍්‍රදානය කිරීමටද මෙම කණ්ඩායම කටයුතු කළේය.

    එසේම, ‘සුපර් සික්සස්’ යනුවෙන් හඳුන්වන කණ්ඩායම ගම්පහ දිස්ත‍්‍රික්කයේ පාසැල් 50 ක්, පොලිස් ස්ථාන 15 ක් සහ රෝහල් 03 ක් සම්බන්ධ කර ගනිමින් එම ආයතන භූමි තුළ රුක් රෝපණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ අතර මාසයක් තුළ පැළ 1000 ක් රෝපණය කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2016 වසර වෙනුවෙන් තේමා කරගෙන තිබෙන zGo GreenZ සංකල්පයට සහයෝගය ලබාදෙමින් ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ මාස තුනත් හයත් අතර කාලයේදී පැල 5000 ක් රෝපණය කිරීමට මේ වනවිට ඉලක්ක කර ඇත.

    මීට අමතරව, ‘ගේම් චේන්ජර්ස්’ යනුවෙන් හැඳින්වූ කණ්ඩායම නාත්තන්ඩිය ප‍්‍රදේශයේ පෙර පාසැලක් නවීකරණය කිරිමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර සම්පූර්ණ කරන ලදී. මෙහිදී, මෙම පෙර පාසැල් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කරමින් පින්තාරු කිරීම, එහි ලී බඩු පින්තාරු කිරීම, වැසිකිලි නැවත සකස් කරමින් ඒවාට අවශ්‍ය උපකරණ සවිකිරීම සහ ක‍්‍රීඩා පිටිය පිරිසිදු කිරීම සිදුකරන ලදී.

    ‘ආයතනික මට්ටමේදී සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රජාව මූලික කරගත් ශුභ සාධන වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරන අතර ඒවා සඳහා සමාගම විසින් සැලකිය යුතු අරමුදල් ප‍්‍රමාණයක්, කාලයක් සහ කාර්ය මණ්ඩල සම්පත් ආයෝජනය කරනවා.’ යනුවෙන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘ඒ වගේම දිරිමත් වූ සුළු පිරිසකට කෙතරම් වෙනසක් සිදුකළ හැකිදැයි අපි විශ්මයට පත්වන අතර ඔවුන් විසින් සම්පූර්ණ කළ මෙම වැඩසටහන් පිළිබඳව අපි අතිශය සතුටට පත්වනවා. මෙම කණ්ඩායම්වල මෙම වැඩසටහන් සාර්ථක වීමට අනිකුත් කොටස්කරුවන් සම්බන්ධ කරගැනීම ඉතාමත් වැදගත් වුණා.’

    ආයතනික අංශයේ ඉතාමත් කීර්තිමත් පුහුණුකරුවෙකු වන Doug Adams මහතා විසින් මෙහෙයවූ මෙම පුහුණු වැඩසටහන මගින් නායකත්ව අංශ පහක් ආවරණය කරන ලදී.

    ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සිදුකළ ගැඹුරු තක්සේරුවකින් පසුව පිට පිටම තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් 2016 වසරේදීත් බුහුමනට පත්කර තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර ඇත. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක්වේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන් විසින් ක‍්‍රියාත්මක කළ සමාජ සත්කාරක වැඩසටහන් දෙකක්. (ඉහළ) නවීකරණය කරන ලද පෙර පාසැල් ගොඩනැගිල්ල සහ (පහළ) රුක් රෝපණ වැඩසටහනෙහි එක් අවස්ථාවක්