සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බුහුමන් ලබයි

    June, 18, 2020

    එසේම, මෙරට ශක්තිමත්ම රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්‍රේණිගත කරයි

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ඇගයීම සඳහා බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 17 වන වරටත් පැවැත්වූ ඇගයීමේදී මෙරට ශක්තිමත්ම සන්නාම 10 අතරට තේරී පත්වෙමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම්වීමට සෙලින්කෝ ලයිෆ් සමත්වී තිබේ.

    මෙහිදී, සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 3,658 ක් යැයි බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර සන්නාමය AA+ ලෙස වර්ගීකරණය කර තිබෙන්නේ මෙරට ශක්තිමත්ම රක්ෂණ සන්නාමය බවට පත් කරමිනි. මෙහිදි, සමස්ත සන්නාම වටිනාකම් ශ්‍රේණිගත කිරීම තුළ සෙලින්කෝ ලයිෆ් 33 වන ස්ථානයට පත්වී තිබේ.

    මෙම වර්ගීකරණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සන්නාමය නියෝජනය කරන ව්‍යාපාරයේ ප‍්‍රධාන වටිනාකම් ඉස්මතු කර පෙන්වීමට සන්නාමය අනිවාර්යෙන්ම සමත්විය යුතුයි. සෙලින්කෝ ලයිෆ් සතු ප‍්‍රධාන වටිනාකම් වන්නේ විශ්වාසය, පක්ෂපාතීත්වය, අවංකත්වය සහ ශක්තිය මෙන්ම ස්ථාවරත්වයයි. මේ අනුව, අපි විශ්වාස කරන්නේ බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමයට ලබාදුන් වටිනාකම සහ ශක්තිය පිළිබඳ ඇගයීම තුළින් අපගේ ප‍්‍රධාන වටිනාකම් සමස්ත කාර්යසාධනය සඳහා ලබාදුන් දායකත්වය පිළිඹිබු කර තිබෙන බවයි.’

    මෙම ශ්‍රේණිගත කිරීමේදී මෙරට වඩාත් වටිනාම සහ ශක්තිමත්ම සන්නාම හඳුනාගැනීම සඳහා ISO 10668 කර්මාන්ත ප‍්‍රමිතිය සමග අනුකූල වන සන්නාම තක්සේරුකරණ ක‍්‍රමවේදයක් වන රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශය භාවිතා කරයි. මෙහිදී, සන්නාමවල අනාගත ආදායම් ඇස්තමේන්තු කරන අතර ඒ සඳහා රෝයල්ටි අනුපාතය ගණනය කරයි.

    සන්නාමයේ සමස්ත වටිනාකම ගණනය කිරීමට අමතරව බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සන්නාමයේ සාපේක්ෂ ශක්තිය තීරණය කිරීම සඳහා සමබර ක‍්‍රමවේදයක් භාවිතා කරන අතර ඒ සඳහා අලෙවිකරණ ආයෝජනය, පාර්ශවකරුවන්ගේ කොටස් සහ ව්‍යාපාරික කාර්යසාධනය භාවිතා කරයි. මෙම ක‍්‍රමවේදයට අනුව සෙලින්කෝ ලයිෆ් හි, සන්නාම ශක්ති දර්ශකය (BSI) ලකුණු 100 තුළින් ලකුණු 78.22 ක් ලබාගනිමින් සන්නාම ශක්ති වර්ගීකරණය AA+ බවට පත්වී තිබේ.

    බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් ලෝකයේ සන්නාම ඇගයීමේ ප‍්‍රමුඛතම ස්වාධීන උපදේශන ආයතනය වන අතර ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 20 ක මෙම ආයතනයට කාර්යාල තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සන්නාමවල මූල්‍ය අගය ගණනය කරමින් අලෙවිකරණය සහ මූල්‍ය අතර තිබෙන හිඩැස පුරවනු ලබයි. සන්නාම තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතිය වන ISO 10668 සහ සන්නාම තක්සේරු කිරීමේ මෑතක අනුමත කළ ප‍්‍රමිතිය වන ISO 20671 භාවිතා කිරීම සඳහා බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් සහයෝගය ලබාදෙයි.

    සෙලින්කෝ ලයිෆ් 2019 වසර අවසානයේදී රුපියල් බිලියන 32.1 ක සමස්ත ආදායමක් වාර්තාකළ අතර එය 9.9% ක ආදායම් වර්ධනයකි. එසේම, සමාගම එම වසරේදී රුපියල් බිලියන 18.7 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කරමින් පිට පිටම 16 වන වතාවටත් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්විය.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රකළ අතර 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සමාගම තෝරා ගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.