සෙලින්කෝ ලයිෆ් හි ප්‍රිමියම් ක්ලබ් ගනුදෙනුකරුවන් හට සුවිශේෂී මහනුවර පෙරහැර අත්දැකීමක්

    August, 22, 2025

    මහනුවර ඇසළ පෙරහැරේ දර්ශනීය බව සියැසින් දැක බලා ගැනීමට සෙලින්කෝ ලයිෆ් හි ප්‍රිමියම් ක්ලබ් ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 120 දෙනෙකු සඳහා සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් අඛණ්ඩව නවවන වරටත්, දෙවන රන්දෝලි පෙරහැර හා සමගාමීව වාර්ෂික පෙරහැර නැරඹීමේ අවස්ථාව මහනුවර, රජ වීදියේ අංක 65 හි පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවේදී ලබා දෙන ලදි.

    සෙලින්කෝ ලයිෆ් හි අඛණ්ඩ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ ක්‍රියාකාරකම්වල අංගයක් ලෙස සංවිධානය කරන ලද මෙම සන්ධ්‍යාව තුළින් සමාගමේ වටිනා සේවාදායකයින් සමඟ සබඳතා අගය කිරීමට සහ ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබිණ.

    අමුත්තන්ට පෙරහැරේ අසිරිය සමීපව දැක බලා ගැනීම සඳහා මහනුවර සෙලින්කෝ ලයිෆ් ශාඛාවේ විශේෂ ස්ථානයක VIP අසුන් පනවා තිබූ අතර ඒ තුළින් අපූරු නැරඹීමේ අත්දැකීමක් ඔවුන්ට ලබා ගත හැකි විය. මෙම සංස්කෘතික සංදර්ශනයට, කීර්තිමත් නිවාඩු නිකේතනයක් වන අමායා හිල්ස් වෙතින් සන්ධ්‍යා භෝජන සංග්‍රහයක් සහ සුවිශේෂී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ඇතුළත් විය. දරුවන් සඳහා ළමා චිත්‍රපට දර්ශනයක්, සිහිවටනයක් ලෙස අලංකාරව රාමු කරන ලද එදින ලබාගත් පවුලේ ඡායාරූපයක් සහ රක්ෂණ ඔප්පු හිමියන් දෙදෙනෙකුගේ උපන්දින සැමරුම් ඇතුළත් වූ ප්‍රීතිමත් මතකයන් නිර්මාණය කරමින් පැමිණ සිටි පවුල්වලට සංග්‍රහ කරන ලදී.

    මෙම සන්ධ්‍යාව සංස්කෘතිකත්වයෙන් සහ සැමරුම් වලින් සමන්විත වූ අතර ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් පාරිභෝගික සබඳතා මූලික කරගනිමින් ලබා දුන් මෙම අත්දැකීම් හරහා තම වටිනා ගනුදෙනුකරුවන්ට අමරණීය මතකයන් නිර්මාණය කිරීම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි කැපවීම තවත් වරක් පිළිබිඹු කර තිබේ.