සේයාකලර් වෙතින් Canon Dream Labo 5000 මුද්‍රණ යන්ත‍්‍රය මෙරටට හඳුන්වාදෙයි

    March, 8, 2016

    මෙරට කීර්තිමත් ඡායාරූප රසායනාගාරයක් වන සේයාකලර්, කැනොන් හා මෙට්‍රොපොලිටන් සමාගම් වල දායකත්වයෙන් අතිනවීන HD තාක්ෂණයෙන් යුතු නවතම ඩිජිටල් ඡායාරූප ඇල්බම මුද්‍රණ යන්ත‍්‍රය වන DreamLabo 5000 පසුගියදා මෙරටට හඳුන්වාදුණි.

    වර්ණ හතකින් සමන්විත වෘත්තීය මට්ටමේ ඩිජිටල් ඡායාරූප ඇල්බම් මුද්‍රණ යන්ත‍්‍රයක් වන Canon DreamLabo 5000 සතුව පවතින සුවිශේෂී ලක්ෂණ කිහිපයකි. DreamLabo 5000 මගින් පැයක් ඇතුළතදී එක් පසෙක ඡායාරූප 2330 ක් මුද්‍රණය කිරීමට හැකි අතර දෙපසම මුද්‍රණය වන පරිදි පැයක් ඇතුළතදී ඡායාරූප 1000 ක් කඩිනමින් මුද්‍රණය කිරීමට හැකිය. වර්ණ ඡායාරූප වල පවතින සුපැහැදිලි බව දීප්තිය හා දිස්නය වැනි සුවිශේෂී ලක්ෂණ ගණනාවකින් යුතුව වර්ණ ඡායාරූප මුද්‍රණය කිරීමේ හැකියාව මෙය සතුය.

    ''ලොව විශිෂ්ටතම ඡායාරූප මුද්‍රණ යන්ත‍්‍රය වන 'Canon Dream Labo 5000' මෙරටට හඳුන්වාදීමෙන් අප වෙළඳපල තවදුරටත් දියුණු කිරීමට හැකිවී ඇති බව පවසන්නේ මහත් සතුටින් යුතුවයි. මේ හඳුන්වාදීu සමගින් සේයාකලර් ඡායාරූප රසායනාගාරයට මෙරට වාණිජ ඡායාරූප ක්ෂේත‍්‍රයේ නව යුගයක් සටහන් කිරීමට හැකිවනු ඇති බව මගේ විශ්වාසයයි.'' සේයාකලර් රසායනාගාර අධ්‍යක්ෂ අතුල පී. ඩයස් මහතා පැවසුවේය.

    මෙරට සිටින ප‍්‍රමුඛ පෙළේ වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ විශ්වාසය හා ඉහළ පිළිගැනීම හිමිකරගත් සේයාකලර්/සරසවි රසායනාගාරය මෙරට පවතින ප‍්‍රමුඛතම ඡායාරූප නිමාගාරයකි. සරසවි සමූහ සමාගමට අනුබද්ධිත සේයාකලර් ආයතනය මීට දශක කිහිපයකට පෙර නුගේගොඩ නගරය කේන්ද්‍ර කරගෙන ආරම්භ විය. සේයාකලර් ආයතනය, මෙරට පළමුවරට ඡායාරූප වර්ණ සැකසුම් හා මුද්‍රණය ආරම්භ කළ ප‍්‍රමුඛ පෙළේ ආයතන කිහිපය අතර පවතින කීර්තිමත් ආයතනයකි.

    ''Canon Dream Labo 5000 මුද්‍රණ යන්ත‍්‍රය නිසැකවම අතිදියුණු තාක්ෂණය හා ගුණාත්මක බවින් ඉහළ මුද්‍රණ යන්ත‍්‍රයක් වන නිසාම මෙරට මුද්‍රණ ක්ෂේත‍්‍රයේ ද සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්වනු ඇති බව නිසැකයි. කැනොන්, මෙට්‍රොපොලිටන් නිෂ්පාදන මෙරට තුළ බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ බලයලත් මෙරට එකම නියෝජිතයා ලෙස ඩිජිටල් ඡායාරූප මුද්‍රණයේ සුවිශේෂී සලකුණක් සටහන් කරන මෙම අවස්ථාවේ කොටස්කරුවකු වීම මෙට්‍රොපොලිටන් සමාගමට හිමිවූ මහත් භාග්‍යයකි.'' මෙට්‍රොපොලිටන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අයිවෝ මහරූෆ් මහතා ප‍්‍රකාශ කළේය.

    Canon Dream Labo 5000 මුද්‍රණ යන්ත‍්‍රය දෙපසම මුද්‍රණය කළ හැකි HD ඡායාරූප මුද්‍රණ තාක්ෂණයෙන් සමන්විතය. මෙරට ඡායාරූප මුද්‍රණ ක්ෂේත‍්‍රයේ සිදුකළ දැවැන්තම ආයෝජනය ලෙස මෙම අවස්ථාව නම්කළ හැකිය. මෙම නවතම මුද්‍රණ යන්ත‍්‍රය මගින් මෙරට ඡායාරූප ශිල්පීන්ට පරම්පරා ගණනාවක් පවතින HD තාක්ෂණයෙන් යුතු ඡායාරූප ඇල්බම හෝ ඡායාරූප මුද්‍රණය කරගැනීමේ හැකියාව ඇත. මෙම යන්ත‍්‍රයේ ඇති විශේෂත්වය වන්නේ RGB වර්ණ ආකෘතිය කෙලින්ම මුද්‍රණය සඳහා යොමු කිරීමට හැකි පරිදි නිපදවා තිබීමයි. මෙහිදී ඡායාරූපශිල්පීන්ට මීට පෙර තිබූ RGB වර්ණ සංයුතියේ පැවති SRGB හා Adobe RGB වැනි වර්ණ වියුක්ත කිරීමේ ගැටළු වලට මුහුණදීමට සිදුනොවීම ද සුවිශේෂී ප‍්‍රතිලාභයකි. එමනිසා තවදුරටත් ඔබගේ වර්ණ ඡායාරූප ගොනු සතුව ඇති වර්ණ පරාසයන් කිසිදු හානිවීමකින් තොරව ඔබගේ සීරුමාරු කරන ලද පරිඝනක තිරයේ ඔබ දකින වර්ණ එලෙසින්ම මෙම Dream Labo 5000 මුද්‍රණ මගින් ඔබට ලබාගත හැකිවනු ඇත.

    ''Canon Dream Labo 5000 මෙරටට හඳුන්වාදීම තුළින් ඡායාරූප මුද්‍රණයට පැවති බොහෝ සීමාවන් මඟහැරී යනු ඇත'' මෙට්‍රොපොලිටන් සමාගමේ නිෂ්පාදන හා ග‍්‍රැෆික් නිර්මාණ ප‍්‍රධානී කෙවින් ලා-ෆේබර් මහතා පැවසුවේය.

    මෙට්‍රොපොලිටන් සමාගම මෙරට තුළ කැනොන් නිෂ්පාදන අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ බලය හිමි එකම සමාගමයි. එමෙන්ම, සුවිශේෂී ඡායාරූප හා මුද්‍රණ විසඳුම් ලබාදීමේ මෙරට පුරෝගාමී සමාගම වන්නේ ද මෙට්‍රොපොලිටන් ය. පසුගිය වසර ගණනාව පුරා මෙට්‍රොපොලිටන් සමාගම මෙරට ඡායාරූප හා මුද්‍රණ ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් ගණනාවක් දියත් කළේය. ඡායාරූප හා මුද්‍රණ ක්ෂේත‍්‍රයේ නිරතවන පිරිස් වල කුසලතා වර්ධන වැඩසටහන්, ක්ෂේත‍්‍රයේ විදෙස් දැනුම මෙරටට ලබාදීමට කටයුතු කිරීම, ඡායාරූප හා මුද්‍රණ ක්ෂේත‍්‍රයේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට දායක වීම, ඉහළ ගුණාත්මක බවින් යුතු ඡායාරූප හා වෙනත් මුද්‍රණ අවශ්‍යතා වර්ධනය කිරීම ද ඒ අතරට ඇතුළත්ය.