සේවක වැටුප 4000 කින් වැඩිකිරීමට ටොයොටා මැලිවන්නේ ඇයි ?

    March, 28, 2014

    ඉන්දියානු රුපියල් 4000 ක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලා ඉන්දියාවේ ටොයොටා කර්මාන්ත ශාලා දෙකක සේවකයින් ගෙනගිය වැඩවර්ජනය යළිත් ඉදිරියට ගොස් තිබෙන බව වාර්තා වේ.

    මේ සතියේදීත් නැවත සේවයට වාර්තා කිරීම මෙම සේවකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කර තිබේ.

    කෙසේවෙතත්, ගිය සතියේ සමාගම විසින් පැවසුවේ මේ සතියේදී මෙම කර්මාන්ත ශාලා දෙකේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරන බවයි.

    මෙම වැටුප් අර්බුදය නිසා පසුගිය මාස දහය තුළදීම මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු වලට බාධා වී තිබෙන අතර මෝටර් රථ නිෂ්පාදනයේ ලොව දැවැන්තම සමාගම පවසා තිබෙන්නේ මෙම සේවකයින්ට මාසයකට ලබාදිය හැක්කේ ඉන්දියානු රුපියල් 3050 ක වැටුප් වැඩිවීමක් පමණක් බවයි.

    මෙයට හේතු ලෙස ටොයොටා පවසන්නේ ඉන්දීය වෙළඳ පොළේ මෝටර් රථ අලෙවිය අඩුවීම නිසා සමාගමට එතරම් සරු කාලයක් උදාවී නොමැති බවයි.

    මේ අතර, මෙම කර්මාන්ත ශාලා දෙකේ සේවක වෘත්තීය සමිති විසින් සමාගමට අවධාරණය කර තිබෙන්නේ පසුගිය සතියේදී සේවයෙන් නෙරපා දැමූ සේවකයින් 30 දෙනාගේ සේවය යළිත් ස්ථාපිත කරන ලෙසයි.

    ටොයොටා සමාගමේ ගෝලීය මෝටර් රථ අලෙවියෙන් සියයට 1.6 ක් ලැබෙන්නේ ඉන්දීය වෙළඳ පොළිනි. අලෙවි කරන මෝටර් රථ ප්‍රමාණය අනුව සැලකීමේදී ලොව දැවැන්තම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන්නේ ටොයොටායි.