සොෆ්ට්ලොජික් කැපිටල්, ආර්ථික අභියෝග රැසක් මැද 2024 මූල්‍ය වර්ෂය සඳහා 13%ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 36.7ක ආදායමක් හා මිලියන 431ක බදු පසු ලාභයක් වාර්තා කරයි

    June, 24, 2024

    සොෆ්ට්ලොජික් ලයිෆ්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්, සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස්,  හා සොෆ්ට්ලොජික් ඇසෙට් මැනේජ්මන්ට් (සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්) යන ආයතනයන්ගෙන් සමන්විත සමූහයෙහි  මූල්‍ය සේවා අංශය වන සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය.

    2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා සොෆ්ට්ලොජික් කැපිටල් රුපියල් බිලියන 36.7ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වූයේ පසුගිය මූල්‍ය වර්ෂයට වඩා 13%ක වර්ධනයක් අත්පත් කර ගනිමිනි. සමාලෝචිත කාල පරිච්ඡේදය තුළ 168%ක වර්ධනයක් සමඟින් රුපියල් මිලියන 431ක බදු පසු ලාභයක් වාර්තා කිරීමටද සමාගම සමත් විය. මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 11 දක්වා පෙර වසරට සාපේක්ෂව 36%ක වර්ධනයක් සනිටුහන් කරනු ලැබීය. එහිදී පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 2.3ක අලාභය හා සැසඳීමේදී රුපියල් මිලියන 66ක අලාභයක් මේ වසරේදී වාර්තා විය. අදාළ කාල සීමාව තුළ වාර්තා වූ මෙහෙයුම් ලාභ ආන්තිකය 29%ක් ලෙස පැවති අතර එය පෙර වසරේ අදාළ කාල සීමාව හා සැසඳීමේදී පදනම් ලකුණු 400ක ඉහළ යාමකි. මාර්තු 31න් අවසන් සමාලෝචිත අවසන් කාල පරිච්ඡේදයේදී සමස්ත ආදායම රුපියල් බිලියන 9.2ක් වූ අතර එය 12%ක වර්ධනයකි. එහි බදුවලට පෙර ලාභය රුපියල් මිලියන 763ක් වූ අතර එය 2023 වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 150%ක වර්ධනයක් විය. එමෙන්ම සමස්ත වත්කම  රුපියල් බිලියන 69ක් ලෙස සටහන් විය.

    පසුගිය වසර තුළ තනි ආයතනයක් ලෙස අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දීමට සිදු වුවුද එම අභියෝග ජය ගැනීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන්හි ප්‍රතිඵලයක් ලෙස 2024 මාර්තු 31 දින වන විට රුපියල් බිලියන 3.1ක වාර්ෂික ආදායමක් හා රුපියල් මිලියන 535ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් කැපිටල් සමත් විය. මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුව තුළ ගනු ලැබූ ප්‍රධාන ක්‍රියා මාර්ග කිහිපයක් ද මෙම සුවිශේෂී වර්ධනයට හේතු විය.

    සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමේ සමූහ ආදායමට විශාලතම දායකත්වය ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් වූ අතර එය සමස්ත ආදායමෙන්ම 89%ක් විය. රක්ෂණ වෙළෙඳපොලෙහි දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්ව ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 මාර්තු 31 අවසන් පළමු මාස 3ක කාලයේදී රුපියල්  බිලියන 7.2ක දළ වාරික ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡචේදය තුළ වාර්තා වූ 3%ක වර්ධනයට සාපේක්ෂව 20%ක වර්ධනයකි. සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 මාර්තු 31න් අවසන් වූ අවසන් කාර්තුව තුළ රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් බිලියන 3.4ක හිමිකම් ගෙවීමට ද කටයුතු කර ඇත.

    ව්‍යුහාත්මක වශයෙන් වෙනස්කම් රැසකට ලක්වෙමින් සිය මෙහෙයුම් ස්ථාවර තත්වයකට පත් කරගෙන සිටින සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් නව්‍ය තාක්ෂණය භාවිත කරමින් ව්‍යාපාර නැවත නගා සිටුවීමට කටයුතු කරමින් සිටියි. AI තාක්ෂණය භාවිත කරමින් වෙළෙඳපොල පර්යේෂණයන්හි සුවිසල් විප්ලවයක් ඇති කළ StockGPT යෙදුම දියත් කළ සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් අලුත් ගනුදෙනුකරුවන් වෙළෙඳපොල වෙත ගෙන ඒම සඳහා ක්‍රියාකාරී සැලසුම් හා විවිධාංගීකරණයන් ඉදිරිපත් කිරීමට මෑතකදී කටයුතු කරනු ලැබීය. ඒ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොලෙහි විවෘත කරන ලද ගිණුම් 15%කින් ඉහළ නැංවීමට හැකියාව ලැබී ඇත. Unit Trust හි දෙවැනි ඉහළම ගිණුම් ප්‍රමාණයක් සමඟින් සැලකිය යුතු අවධානයක් දිනාගෙන සිටින සොෆ්ලොජික් ඉන්වෙස්ට් ආයතනය රුපියල් බිලියන 43ක වත්කම් කළමනාකරණය කරනු ලබන අතර ඒ අනුව ක්ෂේත්‍රයේ ඉහළම ආයතන 5 අතරට එක් වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් කැපිටල්හි සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කර සිටියේ “අතිශය දුෂ්කර අවස්ථාවන් හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථක මූල්‍ය වර්ෂයක් සනිටුහන් කිරීමට අපට හැකියාව උදා වුණා. පසුගිය වසර තුළ අප විසින් ප්‍රත්‍යක්ෂ කරන ලද ඔරොත්තු දීමේ හා දරා සිටීමේ හැකියාවඑකී සාර්ථකත්වය පිළිබිඹු කරන කදිම සාක්ෂියකි. විශේෂයෙන් දැඩි අභියෝග හමුවේ වුව ක්ෂණික උපාය මාර්ග, ඉහළ පිරිවැය කළමනාකරණ භාවිතයන් පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැලපෙන නව්‍ය මූල්‍ය විසඳුම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කළා. ඒ සමඟ අපගේ විවිධ ආයතනික අංශයන් තුළින් මෙම වර්ධනය අත්පත් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. මෙවන් ආර්ථික පරිසරයකට අනුවර්තනය වෙමින් ඉදිරියට යාම සඳහා අප තුළ පවතින හැකියාව මෙන්ම අපගේ ව්‍යාපාර සැලසුම්වල ශක්තිය හා කණ්ඩායමක් ලෙස අපගේ නොසැලෙන කැපවීම මේ තුළින් මනාව පිළබිඹු වන බව දැකිය හැකියි. නිරන්තරයෙන් අපගේ ගනුදෙනුකරුවන් සඳහා ඉහළම මට්ටමේ සේවාවක් ලබා දීමට කැපවී කටයුතු කරන අප ඉදිරියේදීද මේ අයුරින් සාර්ථකත්වය අත්පත් කර ගැනීමට කටයුතු කරනවා” යනුවෙනි.

    සොෆ්ට්ලොජික් කැපිටල්හි මූල්‍ය සේවා කළඹ, ජීවිත රක්ෂණය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලපත්‍රලාභී රක්ෂකයකු වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොලේ බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමක් වන සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ විෂය පථය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම සහ ඒකක භාර කළමනාකරණ සමාගමක් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ආයෝජන කළමනාකරුවකු වන සොෆ්ට්ලොජික් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම යන ආයතනයන්ගෙන් සමන්විත වේ.

     

    ඡායාරූපය - සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි සභාපති අශෝක් පතිරගේ මහතා