සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සභාපති ලෙස එරන් රසල් ඩේවිසන් පත් කරයි

    November, 20, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස එරන් රසල් ඩේවිසන් මහතා පසුගිය ඔක්තෝබර් 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත. මෙතෙක් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ සභාපතිධූරය දැරූ අශෝක් පතිරගේ මහතා මහ බැංකු නියාමනයට අනුව තනතුර දැරිය හැකි උපරිම කාල සීමාව වන වසර නවයක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු  ඇතිවූ පුරප්පාඩුව සඳහා එම මහතා මෙසේ පත්කර තිබේ.

    රසල් ඬේවිසන් මහතා ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි පළපුරුද්දක් සහිත වෘත්තිකයකු වන අතර ජාත්‍යන්තර මූලය ආයතන රැසක විවිධ තනතුරු හොබවා තිබේ. සිංගප්පුරුවේ ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ ණය ප්‍රාග්ධන අංශයේ ගෝලීය ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති ඒ මහතා හොං කොං Credit Suisse, දකුණු අප්‍රිකාවේ Standard Bank සහ ලන්ඩනයේ HypoVereinsbank යන ආයතනයන් හි ප්‍රාග්ධන වෙළෙඳපොල අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර තිබේ.

    තම නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන රසල් ඬේවිසන් මහතා,“ ආයතනයේ වත්මන් ප්‍රගතිය තවදුරටත් පුළුල් කරමින් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය නව අදියරකට ගෙන යෑමට මේ වන විටත් අඩිතාලම දමා තිබෙනවා. ඒ සඳහා තොරතුරු තාක්ෂණය පුළුල් ලෙස භාවිතා කරමින් ඩිජිටල්කරණය ඇතුළු නව්‍ය සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ මූල්‍ය වෙළෙඳපොළ තුළ සාධනීය වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමයි ” යනුවෙන් පැවසීය.

    “අප දැනටමත් මෙම උපායමාර්ගික මෙහයුම් #සුභ-වෙනසක් යන හෑෂ් ටැගය යටතේ ක්‍රියාත්මක කරනු ලබනවා. මෙමඟින් සමාගමේ ගනුදෙනුකරුවන්ට අසමසම පහසුවක්  සහ වටිනාකමක්  ලැබෙන අතර සොෆ්ට්ලොජික් සමූහයේ අනෙකුත් සාමාජිකයින් වන  අසිරි රෝහල් ජාලය, ඔඩෙල් ඇතුළු සෙසු පාරිභෝගික සේවා ආයතනයන් හි සමස්ත පාරිභෝගික ප්‍රජාවද  ඉලක්ක කරමින් මෙය ක්‍රියාත්මක කරනු ලබනවා යැයි වැඩි දුරටත් පැවසීය.

    රසල් ඬේවිසන් මහතා මීට පෙර සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කල අතර වර්තමානයේ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සහ සොෆ්ට්ලොජික් කැපිටල් ආයතනයන්හි විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස සහ අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කරනු ලබයි.

    සෞඛ්‍ය, මූල්‍ය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සංචාරක , මෝටර් රථ සහ පාරිභෝගික සේවා යනාදී අංශ ගණනාවකින් විවිධාංගිකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධ මූල්‍ය ආයතනයක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම වර්ෂ 2011 අංක 42 දරන  මූල්‍ය ව්‍යාපාර පනත යටතේ සහ වර්ෂ 2000 ශ්‍රී ලංකා මහා බැංකුවේ අංක 56 දරන මූල්‍ය ලීසිං පනත යටතේ විශේෂිත බලපත්‍රලාභී ලීසිං ආයතනයක් ලෙස ලියාපදිංචි වූ පිළිගත් ආයතනයකි.