March, 4, 2025
මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව සහ ප්‍රතිචාරාත්මකබව වැඩිදියුණු කිරීම අපේක්ෂා කරමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කර ඇත.
ඒ සඳහා වන මුල් මූල්‍යකරණය ඇමෙරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රදානයකින් සමන්විත වේ.
ඊට අමතරව, එම ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක ණය මුදලක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා ගෙන ඇත.
ව්‍යාපෘතිය සඳහා මුල් මූල්‍යකරණය යටතේ ලබා ගෙන ඇති ණය මුදල සහ ප්‍රදානය සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීම පිණිස ඒවායේ වලංගු කාලසීමාව තවත් වර්ෂයකින් දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ මුල් ණය හා ප්‍රදානයෙහි වලංගු කාලසීමාව 2025‑11‑30 දින දක්වාත්, ණය මුදල ගිණුම් පියවා අවසන් කිරීමේ දිනය 2026‑05‑31 දින දක්වාත් දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story