සෞදි අරාබියේ Lulu Hypermarkets දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කරයි

    September, 14, 2021

    2021 සැප්තැම්බර් 08-14 දිනවල පැවැත්වෙන ‘Sri Lanka Week@Lulu’ (ලුලු හි ශ්‍රී ලංකා සතිය) වැඩසටහන තුළින් විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන 140 ක එකතුවක් ආකර්‍ශණීය විශේෂ ප්‍රවර්ධන මිල ගණන් යටතේ භුක්ති විඳීමේ සුවිශේෂී අත්දැකීමක් සෞදි අරාබියේ සෞදි ජාතික හා විදේශගත ප්‍රජාවන්ට ඉදිරිපත් කෙරේ.

    රියාද් ඇවනියුහි පිහිටි Lulu Hypermarkets හිදී සැප්තැම්බර් 08 වෙනිදා පැවති මෙම උත්සවයේ සමාරම්භය සඳහා රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ලුලු හයිමාර්කර්ට්ස් හි නිලධාරීහු එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ප්‍රජා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මීට සමාන්තර සිදුවීම් දම්මාම් සහ ජෙඩා නගරවල ද පැවැත්විණි.

    සෞදි අරාබියේ සහ ගල්ෆ් කලාපයේ අනෙකුත් වෙලඳපොලවල ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්‍ධනය කිරීමේ දී ලුලු හයිපර්මාර්කට් දාමය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. පලතුරු, එලවළු සහ භාණ්‌ඩවල මූලාශ්‍ර සැකසීම, ගබඩා කිරීම, ඇසුරුම් කිරීම සහ අපනයනය කිරීම සඳහා වූ අති නවීන පහසුකම් සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති ලුලු-ශ්‍රී ලංකා මූලාශ්‍ර කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ලබා ගනු ලැබේ.

    ‘ලුලු හි ශ්‍රී ලංකා සතිය’ යනු 2020 දී සහ 2021 මුල් භාගයේ දී මීට සමාන ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් සඳහා සත්කාරකත්වය සැපයූ සෞදි අරාබියේ ලුලු සමාගම විසින් දියත් කරන ලද තවත් ව්‍යාපාරයකි. ලුලු සමාගමේ සාර්‍ථකත්‍වය පිළිබඳ පසුබිම් කතාව, එහි නිරවද්‍ය සැකසුම් කටයුතු, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ අසමසම පාරිභෝගික සහාය මත රඳා පවතී. මැදපෙරදිග, අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව පුරා ගබඩා එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සහිත වූ ලුලු සමාගමේ ව්‍යාප්තිය ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතිත්වය, අනුග්‍රහය සහ මනාපය සඳහා සාක්ෂි දරයි.

    මෙම ප්‍රවර්ධන සතියේ අරමුණ වන්නේ, සවුදි අරාබි රාජධානියට ශ්‍රී ලාංකික ආහාරවල අව්‍යාජ රසය ගෙන ඒම තුළින් පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ හැඟීමක් ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසීමයි. මෙම උත්සව අංගයට සමාන්තරව, මෙම සුපිරි වෙළඳසැල් ජාලය ශ්‍රී ලංකාවේ තවත් නිෂ්පාදන සිය නිෂ්පාදන ප්‍රදර්ශන රාක්කවලට හඳුන්වා දෙනු ඇත.