හදිසියේ ඉහළ ගිය ඩොලරය පාලනය කරන්න මහ බැංකුව ක්ෂණිකව මැදිහත් වෙයි

    November, 26, 2025

    පසුගිය දිනෙක විනිමය අනුපාතයෙහි සිදු වූ හදිසි උච්ඡාවචනයක දී ශ්‍රී ලංකා මහ බැංකුව වහාම මැදිහත් වී එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    එදින පැය දෙකක වැනි කාලයක් තුළ රු. 2.50කින් පමණ, ගනුදෙනු දෙකක් හේතුවෙන් විනිමය අනුපාතිකයේ හදිසි වෙනස් වීමක් සිදු වූ බවත් එහිදී මහ බැංකුව වහාම මැදිහත් වී එම තත්ත්වය ස්ථාවර කිරීමට කටයුතු කළ බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    අද (26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ පිළිබඳව අනාවරණය කළේය.

    “විනිමය අනුපාතය පහුගිය අවස්ථාවක යම්කිසි ආකාරයක වෙනස් වීමක් තිබුණා. නමුත් එක සැරේටම අපේ වගකීමක් තියනවා volatility එක අනවශ්‍ය විදිහට වැඩිනම් මහ බැංකුව හැම තිස්සෙම මැදිහත් වෙනවා වෙළඳපොළට. volatility එකට මැදිහත් වෙලා අපි ඒක සමනය කරනවා. එතකොට පහුගිය දවස් වල එහෙම තිබිලා අපි මැදිහත් වෙලා, විශේෂයෙන් එක දවසක් තිබුණා පැය දෙකක් වගේ ඇතුලත රුපියල් 2.50කින් විතර මේක එක සැරේටම transaction දෙකකින් විනිමය අනුපාතිකය වෙනස් වෙන්න ගත්තා. අපි ඒ වෙලාවේ මැදිහත් වෙලා ඒක ස්ථාවර කළා. ඊට පස්සේ අපි දකිනවා ඒ තුළ යම් යම් ආකාරයේ market එකේ එක එක සමහර දේවල් factor කරාම විශේෂයෙන්ම වාහන අපනයනය වැඩි වෙලා කියලා තිබුණා. ආනයනය වැඩි වෙලා කියලා මතයක් තිබුණා අපේ සාමාජයේ. සංචිත ගැන තිබුණා. ඉතින් ඒ වගේ මත අනුව සමහර වෙලාවට වෙනස් වෙනවා. එතන දි තමයි අපි මැදිහත් වෙලා මේක සමනය කරන්නේ. දැන් විනිමය අනුපාතය යම්කිසි ආකාරයකට ස්ථාවර වෙලා තියෙනවා.“