හරිත ගොඩනැගිලි සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි

    January, 18, 2016

    වර්තමානයේ දී ඉදිවෙමින් පවත්නා ගොඩනැගිලි තුළ සෞඛ්‍යසම්පන්න වාතාවරණයක් ඇති කරමින් බලශක්තිය, ජලය හා අනෙකුත් උපයෝගීතාවන් භාවිතය අවම කරමින් 'හරිත ගොඩනැගිලි' සංකල්පය හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

    එමඟින් හරිතාගාර වායු විමෝචනය අවම කරගනිමින් බාහිර හා අභ්‍යන්තර වායු තත්ත්වය වැඩිදියුණු කරගනිමින් සෞඛ්‍යසම්පන්න, ප්‍රීතිමත් හා සුවදායී පරිසරයක් බිහි කරගත හැකි බව රජයේ අභිප්‍රායයි.

    මෙම වැඩසටහනේ මූලික පියවරක් වශයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි පරිසර හිතකාමී “හරිත ගොඩනැගිලි“ ලෙස ඉදි කිරීම හා පවත්වා ගෙන යාම සඳහා දැනටමත් කෙටුම්පත් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විමර්ශනය කිරීම පිණිස හා ඊට අදාළ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.