September, 28, 2016
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් විසින් කොටස් හිමිකාරීත්වය දරනු ලබන පර්පචුවල් ට්‍රෙසරීස් ප්‍රාථමික නිකුතු සමාගම 2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 5.1 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව වාර්තා කර සිටී. පසුගිය මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික විගණනය කරනු ලැබූ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් පළ කර තිබූ පුවත්පත් දැන්වීමක මේ බව අනාවරණය කර තිබේ. මහ බැංකු නියමයන්ට අනුව ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික මූල්‍ය වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කළ යුතු වේ.
මෙහි ඇති විශේෂත්වය වනුයේ පූර්ව වර්ෂය හා සැසඳීමේ දී මෙය 430% ක ශුද්ධ ලාභයේ වැඩිවීමක් වාර්තා වීමයි. එසේම මහ බැංකු බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්ම සිදු වූයේ ද මෙම කාල වකවානුව තුළ දීය.
මෙහිදී රුපියල් බිලියන 5.2 ක ශුද්ධ ප්‍රාග්ධන ලාභයක් මෙම කාලපරිච්ඡේදය තුළ දී සමාගම වාර්තා කර තිබෙන අතර මහ බැංකුවේ වෙන්දේසි තුළින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමෙන් මෙලෙස ප්‍රාග්ධන ලාභ ඉපයිය හැකි වේ.
මේ අනුව 2015 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා සමාගම විසින් වාර්තා කරන ලද ශුද්ධ ලාභය රුපියල් මිලියන 959 ක් වන අතර 2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයේ දී එම අගය රුපියල් බිලියන 5.1 ක් වේ. මේ අනුව 2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී සමාගමේ කොටසක ඉපැයුම රු. 72.17 ක් ලෙසින් වාර්තා වන අතර පූර්ව මූල්‍ය වර්ෂය අවසානයේ දී එම අගය රු. 13.51 ක් ලෙසින් වාර්තා වී තිබේ.