March, 30, 2021
චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය මෙරට සිටින චීන ජාතිකයින් වෙත පමණක් ලබා දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (30) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදිනියක විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ආනවරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, “ප්‍රථම වතාවට ගෙන්වන සිනොෆාම් මෙම ඖෂධය මෙරට සිටින චීන ජාතිකයින්ට ලබාදෙනවා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ එම අනුමැතිය ලබා දීම සඳහා අදාළ ප්‍රධාන කාරණය හැටියට සැලකෙන්නේ අදාළ සායනික පර්යේෂණ සම්බන්ධ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ ගැටළුවක්. ඒ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවේ අනෙකුත් ජන කොට්ඨාශවලටත් එම එන්නත ලබා දීමේ හැකියාවක් තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින්ට පමණයි ලබා දෙන්නේ“, යැයි පැවසීය.
චීන - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙසින් චීනය විසින් එරට නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙසින් ලබා දීමට තීරණය කර ඇති අතර එම එන්නත් තොගය හෙට (31) දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.