හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයට පවරා දෙයි

    July, 2, 2024

    විවිධ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රැසක් සිටින කොළඹ ඉසිපතන විද්‍යාලයට ක්‍රීඩා පුහුණුවීම් සඳහා ස්ථිර ක්‍රීඩා පිටියක් නොමැති වීම එම ක්‍රීඩාවන්හි නියැලෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට ඉමහත් බාධාවක්ව පවතී. එබැවින්, කොළඹ මහ නගර සභාව සතු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනීමට 2016 වර්ෂයේදී දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළඹ ඇති අතර, එකී ගිවිසුමේ කාලසීමාව 2017 වර්ෂයේදී අවසන් වී තිබේ.

    හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම මඟින් එය නිසියාකාරව වැඩිදියුණු කොට පවත්වාගෙන යා හැකි අතර, එමඟින් එම විද්‍යාලයේ හා අවට පාසල්වල දරුවන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ක්‍රීඩා කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට අවකාශය සැලසෙනු ඇත.

    ඒ අනුව, හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ නාමය එලෙසම පවත්වාගෙන යමින් එකී ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.