හේමාස් කළමණාකාරීත්වය වාද්දුව පියවර පෙරපාසල් දරුවන් සමඟ අවුරුදු සමරයි

    April, 28, 2016

    වාද්දුව පියවර පෙර පාසලේ කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවයක් පසුගිය අප්‍රේල් 02වන දින පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ මේ සඳහා හේමාස් සමුහ විධායක නිළධාරී ස්ටීවන් එන්ඩර්බි හා සමුහ අධමික්ෂ අබ්බාස් එසුෆාලි යන මහතුන් හා ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වීමයි. මෙයට අමතරව හේමාස් අවුට්රීච් පදනමේ අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය ඇතුළු ඇයගේ කාර්ය මණ්ඩලයද, රාජ්‍ය නිළධාරීන්, දෙමව්පියන් ඇතුළු ප්‍රදේශවාසින්ද මේ සඳහා සහභාගී විය.

    පෙර පාසල් දරුවන්ගේ තුර්යවාදක කණ්ඩායම පෙරටු කර ගනිමින් පෙර පාසල වෙත රැගෙන ආ මෙම ආරාධිත අමුත්තන්ව සාම්ප්‍රදායික වත්පිළිවෙත් මධ්‍යයේ පෙරපාසල් දරු දැරියන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    කුඩා දරු දැරියන්ට මෙන්ම ගම්වාසින්ටද අළුත් අත්දැකීමක් ඒක කරමින් හේමාස් සමුහ විධායක නිළධාරීතුමා හා සමුහ අධ්‍යක්ෂතුමා සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා වන කඹ ඇදීම, කණා මුට්ටි බිඳීම, ගෝනි පැනීම යනාදී ක්‍රීඩා රැසකට දරුවන් සමග සහභාගී විය. මෙහිදී "කොළඹ මහත්තුරුන්" යැයි ගම්වැසියන් ගෙන් විරුදාවලි ලත් හේමාස් හි අධ්‍යක්ෂ මහතුන්ගේ ක්‍රීඩා තරඟ විලාසයන් හා ඔවුන්ට නුපුරුදු අභියෝගයන්ට මුහුණ දුන් අයුරු පැමිණ සිටි ප්‍රදේශවාසීන් ඇතුළු සියළු දෙනා සිනා සයුරේ ගිල්වමින් ඔවුන් හට ජිවිතයේ නොමැකෙන මතක සටහනක් එක කිරීමට සමත් විය. අවුරුදු ක්‍රීඩා වලින් අනතුරුව පෙර පාසල් ගුරුවරියන් ඇතුළු දෙමව්පියන් විසින් පිළියෙළ කර තිබු අවුරුදු කෑම මේසය ඉතා ප්‍රියජනක වූ අතර සියලු දෙනාම තරඟ අවසානයේ කෑම මේසයට එකතු විය.

    ලොකු කුඩා පැමිණ සිටි සියලු දෙනාට අමතක නොවන දිනයක් වූ වාද්දුව පෙර පාසල් අවුරුදු උත්සවය සඳහා පැමිණ සිටි, දරුවන් 04 දෙනෙකුගේ මවක් වූ පුර්ණිමා පෙරේරා මහත්මිය මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ "මගේ වැඩිමහල් දියණිය වන අරුණා රවින්දි මෙම පෙර පාසලේ ඉගෙනුම ලබා දැනට 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතා උසස් ලෙස සමත් වී තිබෙනවා. ඇත්තටම මගේ දරුවා මෙතෙක් දුර ඒමට මෙම පෙරපාසල දැමූ අඩිතාලම ඉතා විශාලයි. දැනට මගේ දරුවන් දෙදෙනෙක් මෙම පෙර පාසලේ ඉගෙනුම් කටයුතු කරගෙන යනවා. මගේ 04 වෙනි දරුවා තවමත් ළදරු වියේ පසුවුණත් ඔහුවත් මම ඇතුලත් කරන්නේ මෙම පෙර පාසලටමයි".

    අවුරුදු උළෙලකට සහභාගී වීමේ තම කුළුදුල් අත්දැකීම විස්තර කරමින් හේමාස් සමුහ විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා ප්‍රකාශ කර සිටියේ, "ඇත්තටම මෙය මගේ ජිවිතයට ඉතා විශාල අත්දැකීමක් මෙන්ම විනෝදාත්මක අත්දැකීමක් වුණා. අප පෙර පාසල් මගින් සමාජයට සිදුකරන හිතකර බලපෑම හා යහපත් ප්‍රථිපල ගැන මං පුදුම වුවා. මෙය හේමාස් අවුට්රීච් පදනම මගින් ඉමහත් වෙහසක් දරමින් කරන සමාජ සත්කාරයේ ජීවමාන සාක්ෂියක් කිව හැකියි."

    "වාද්දුව පියවර පෙර පාසල සුනාමියට හසුවූ ළමුන් සඳහා 2005 දී ඉදිකරනු ලැබුවා. ඇත්තටම එය මෙලෙස ප්‍රදේශවාසී ජනයාගේ ගෞරවාදරය ලබමින් නිසි ලෙස ක්‍රියාත්මක වනු දැකීම සතුටට කරුණක්. මෙහිදී අපි විශේෂයෙන් වාද්දුව ප්‍රාදේශීය සභා නිලධාරී මහත්ම මහත්මින්ට, ගුරුවරියන්ට හා දෙමව්පියන්ට විශේෂයෙන් ස්තුති කල යුතුයි. මා පෞද්ගලිකව ඉතාමත් විනෝද වූ අවස්ථාවක් හැටියට මෙම අවුරුදු උත්සවය සඳහන් කල හැකියි." යැයි හේමාස් සමුහයේ සමූහ අධ්‍යක්ෂ අබ්බාස් එසුෆාලි මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

    හේමාස් ආයතනය ළමා කටයුතු අමාත්‍යංශය හා එක්ව මුල් ළමාවිය සංවර්ධනය අරමුණු කර ගනිමින් මෙම පියවර ව්‍යාපෘතිය 2002 දී ආරම්භ කරන ලදී. හේමාස් අවුට්රීච් පදනම යනු හේමාස් සමුහයේ සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරන රජයේ අනුමැතිය ලත් සමාජ සේවා ආයතනයකි.

    අද වන විට ලංකාව පුරා විහිදී පවතින පියවර, පෙර පාසල් 41ක් සමග, ළමුන් 3000 කට වැඩි පිරිසක් හා ගුරුවරියන් 150කට අධික සංඛ්‍යාවක් පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරිත්වය මනාවට ඉස්මතු කරන පියවර ව්‍යාපෘතිය 2014 වසරේ ආසියාවේ විශිෂ්ඨතම සමාජ සත්කාරක වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.