හේමාස් හෝටල් වලට නව ජවයක් දීමට සැරසෙයි

    September, 26, 2014

    සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හෝල්ඩින්ග්ස් සහ තායිලන්තයේ මයිනර් ඉන්ටර්නැෂනල් හෝටල් සමාගම විසින් සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමට යෝජනා කර තිබෙන්නේ සමාගම සහ ප්‍රධාන කොටස්කරුවන් විසින් මෙරට හෝටල් ක්ෂේත්‍රයේ කර තිබෙන ආයෝජනයක් එකතු කරමින් එක් ශක්තිමත් සමාගමක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි.

    මෙම නව සමාගම ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හා මයිනර් හෝටල් සමාගම මෙන්ම සෙරන්ඩිබ් හොටෙල්ස් යටතේ පවත්වාගෙන යන ලෙස එහිදී යෝජනා කර තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අබ්බාස් ඉසුෆලි මහතා පැවසුවේ මෙවැනි එක් ශක්තිමත් සමාගමක් ගොඩනැගීම මගින් කොටස් කරුවන්ට ඉහළ ප්‍රතිලාභයක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

    මෙය තවමත් යෝජනාවක් පමණක් බව හෙතෙම සඳහන් කළේය.

    මෙම සමාගම් විසින් කර තිබෙන ආයෝජන මෙම යෝජනාවට අනුව තක්සේරු කිරීම සඳහා ස්වාධීන තක්සේරු කරුවෙකු මේ වනවිට පත්කර තිබේ.
    සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරියේදී මෙම යෝජනාව ඇගයීමට ලක් කරන බවත් එය ඉටුකිරීම සුදුසු යැයි හැඟී යන්නේ නම් කොටස්කරුවන් දැනුවත් කරනු ඇති බවත් සඳහන්ය.