හේලීස් වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියනය ඉක්මවයි

    May, 22, 2018

    2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 163.24ක පිරිවැටුමක් වාර්තා කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සමත් වී තිබේ. මෙය වර්තමාන විනිමය අනුපාතිකයන්ට අනුව ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් ඇමරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුම් මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් ඉතිහාස ගත වනු ඇත.

    තව ද මෙය පසුගිය මූල්‍ය වර්ෂය තුළ වාර්තා කළ රුපියල් බිලියන 111 ක්වූ පිරිවැටුමට වඩා 47% ක වර්ධනයකි. මේ සඳහා 2018 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ දී වාර්තාගත රුපියල් බිලියන 50.89 ක පිරිවැටුමක් වාර්තාවීම ප්‍රධාන වශයෙන් දායක් වී තිබේ. මෙය කාර්තුමය පදනම මත 74% ක වර්ධනයකි.

    හේලීස් සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 5.76 ක් ලෙසින් සටහන් වන අතර එය පූර්ව වර්ෂයට වඩා 18% ක පහළ යාමකි. එසේම බදුගෙවීමෙන් පසු ලාභය ද සියයට 35 ක පහළ යාමක් වාර්තා කර තිබෙන අතර එය රුපියල් බිලියන 3.27 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව සමාගමේ කොටසක ඉපැයුම රු. 13.65 ක් ලෙසින් සටහන් වන අතර පූර්ව මූල්‍ය වර්ෂයේ දී එය දැක්වුණේ රු. 37.12 ක් ලෙසිනි.

    ශ්‍රී ලංකා රජය පසුගිය 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයේ දී හේලීස් සමූහයෙන් රුපියල් බිලියන 2.49 ක බදු ආදායමක් ලබා ඇත. මෙය පෙර වර්ෂයේ ලබා ඇති බදු ආදායමට වඩා සියයට 26 ක ඉහළ යාමකි.

    ඡායාරූපය - හේලීස් සමූහයේ සභාපති/ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ සමසභාපති ධම්මික පෙරේරා මහතා