හොරණ අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පිරිපහදු යන්ත්‍රාගාරයේ ධාරිතාවය රු.කෝටි 76ක් වැය කර ඉහල නැංවීමට පියවර

    February, 5, 2025

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන කලාපයන් හි මූලික ලක්ෂණ වන්නේ ආයෝජකයින් හට තම කර්මාන්ත පහසුවෙන් කරගෙන යාමට හැකි වන පරිදි සේවා හා යටිතල පහසුකම් සැපයීම ඉහල මට්ටමක පවත්වාගෙන යාමයි. විදුලිය, ජලය, අපජල ප්‍රවාහන පද්ධති මෙන්ම අභ්යන්තර ආලෝකකරණ පද්ධති සහ අභ්‍යන්තර මාර්ග පද්ධති උසස් මට්ටමේ පැවතීම ආයෝජක ආකර්ෂණය දිනා ගැනීමට හේතු වේ. මෙම අත්‍යවශ්‍ය පහසුකම් මඟින් ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කළ වහාම වාණිජ මෙහෙයුම් හෝ ඉදිකිරීම් සිදු කිරීමට ආයෝජකයින්ට හැකියාව ලැබේ. සැම ආයෝජන කලාපයකම මෙම පහසුකම් උසස් මට්ටමක පවතී.

    කාලානුරූපිව මෙන්ම අනාගත අවශ්‍යතාවයන්ට අවශ්‍ය පරිදි මෙම පහසුකම් ද වර්ධනය කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගනී. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලා වලින් බැහැර කරන අපජලය පිරිපහදු කිරීම වෙනුවෙන් ස්ථාපිත පොදු අපජල පිරිපහදු යන්ත්‍රාගාරයේ (CWWTP) ධාරිතාව ඉහල නැංවීමට පියවර ගැනේ. මේ සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් කෝටි හැත්තෑ පහකට අධික මුදලක් වැය කරයි.

    නව ධාරිතාවය ඉහල නැංවීමත් සමග අපජල පිරිපහදු යන්ත්‍රාගාරයේ ධාරිතාවය ඝන මීටර 3000 දක්වා ඉහල යනු ඇත. හොරණ ආයෝජන කලාපය කළු ගග ආශ්‍රිත පරිසර කලාපයක පිහිටා ඇත. ඒ අනුව කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අප ජලය පරිසරයට මුදා හැරීමේදී ඉහලම ප්‍රමිතියෙන් පිරිසිදු කරන ලද ජලය බවට තහවුරු වූ පසු පරිසරයට මුදා හැරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. නව ව්‍යාපෘතිය නිම වීමත් සමග කලාපයේ පාරිසරික තිරසාරභාවය ඉහළ නැංවේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන වැය ශීර්ෂයේ මෙම ව්‍යාපෘතිය ලැයිස්තුගත කර ඇත්තේ පාරිසරික බලපෑම් අවම කිරීමට සහ හොරණ අපනයන සැකසුම් කලාපය සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් (EPL) ලබා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛතා ක්‍රියාකාරකමක් ලෙස ය.

    මෙම කොන්ත්‍රාතුව ලබා දිම සදහා ජාතික තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය හරහා ලංසු කැඳවන ලදී. සවිස්තරාත්මක ඇගයීම සඳහා සුදුසුකම් ලැබු ලංසු ලේඛනයේ දක්වා ඇති නිර්ණායකයන්ට අනුකූලව ලංසු ඇගයීමට ලක් කර සුදුසුකම් ලැබූ ආයතනයට ව්‍යාපෘතිය ඉදිකිරීම ලබා දෙන ලදී. මාස 18කදී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය .

    අදාල ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් සභාපති අර්ජුන හේරත් , කොන්ත්‍රාත් සමාගම වන මොරටුව ලුමිනෙක්ස් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ වරුන් වන උපුල් රංජිත් සහ දනසිරි පාලිත හේරත් යන මහත්වරු අත්සන් තැබූහ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.හදපාන්ගොඩ, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිමාලි අභයපාල යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.