April, 29, 2016
ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්රයේ ලොව ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, සිය විශිෂ්ටයන් අගයනු වස් වාර්ෂික කාර්යමණ්ඩල සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් ලෙස සංවිධානය කළේය. "සුපිරි සම්මාන" ලෙස නම් කර ඇති සම්මාන උළෙලේදී, හොල්සිම් ලංකා සමාගමේ උන්නතිය වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයන් දක්වන කැපවීම ඇගයුමට ලක් කෙරේ.
"සමාගමේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා ගත හැකි වඩාත් සුදුසුම තීරණ සහ උපායමාර්ග අනුගමනය කිරීමට සුදුසු රැකියා සංස්කෘතියක් අප සමාගම තුළ ගොඩනගා තිබෙනවා. සුපිරි සම්මාන උළෙලේදී අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සාර්ථකත්වය ඉහලින් අගය කෙරෙනවා. කාර්යශීලි සහ ජවසම්පන්න කාර්යමණ්ඩල බලඇණිය හේතුවෙන් අප අභියෝග ජය ගනිමින් වසරින් වසර ඉදිරියට ගමන් කරමින් සිටිනවා." හොල්සිම් (ලංකා) සමාගමේ සංවිධාන සහ මානව සම්පත් අධ්යක්ෂ ප්‍රසාද් පියදිගම මහතා සඳහන් කළේය.
සමාගමේ සියලුම අංශ නියෝජනය කරමින් කාර්යමණ්ඩල සාමාජිකයන් 240 කට අධික පිරිසක් මෙවර සම්මාන උළෙල සඳහා සහභාගී විය. සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙන් සැදුම්ලත් තාක්ෂණික මණ්ඩලයක් විසින් නිර්දේශිත නාමයන් විමර්ශනය කෙරුණු අතර, එලෙස තෝරා ගත් නම් බාහිර විනිශ්චය මණ්ඩලයක් විසින් නැවත තක්සේරුවට ලක් කෙරිණි. Brandix Apparel සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසංග රණසිංහ, CBL Foods International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමිත පෙරේරා, Colombo Leadership Academy හි අධ්යක්ෂ රියාස් හසන්, Fonterra Brands Lanka සමාගමේ විකුණුම් ශක්‍යතා කළමනාකාර ස්ටීවන් පෝල්රාජ් සහ ACL Cables සමාගමේ සාමාන්‍යාධිකාරී සුමුදු තන්තිරිගොඩ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පශ්චාද් උපාධි කළමනාකරණ ආයතනයේ (PIM) කළමනාකරණ මණ්ඩල අධ්යක්ෂ සහ සභාපති මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා කටයුතු කළේය. පාරිභෝගික කේන්ද්‍රීය බව, ප්රතිඵලදායී බව, පරිපුර්ණත්වය, තිරසාරත්වය ආදී හොල්සිම් (ලංකා) සමාගමේ මූලික සාරධර්ම සාක්ෂාත් කිරීම උදෙසා කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් සිදු කර ඇති ධනාත්මක බලපෑම විනිශ්චය මණ්ඩලයේ අවධානයට ලක් විය.
පළමු ත්‍යාගය ලෙස ඩුබායි නගරයේ සංචාරයක් පිරිනැමුණු අතර, සුපිරි සම්මාන (රන්, රිදී සහ ලෝකඩ), විශිෂ්ටතම නව්‍යකරණ අදහස, අංශයේ තරුව (ඒකළ සහ කණ්ඩායම්), විශිෂ්ටතම විකුණුම්කරු, සුරක්ෂිතතා සම්මානය ආදී විවිධ කාණ්ඩ යටතේ මුදල් ත්‍යාග, සංචාරක පැකේජ, රන් කාසි සහ කුසලාන ද මෙහිදී පිරිනැමිණි. අඛණ්ඩව 5වන වරටත් මෙවර සංවිධානය කෙරුණු "සුපිරි සම්මාන" උළෙල කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සහ ව්‍යාපාරික ක්ෂේත්රයේ ද නොමඳ අවධානයට ලක් වෙමින් ඉදිරි වසරවලදී ද සංවිධානය කෙරෙනු ඇත.
නැවකින් නැවකට භාණ්ඩ හුවමාරු කිරීමේ හොල්සිම් ලංකා සමාගමේ නවතම සැපයුම් දාම ක්‍රමවේදය (Ship-to-Ship) සැලසුම් කිරීම, ගොඩනැගීම සහ සංවර්ධනය කිරීම උදෙසා හොල්සිම් (ලංකා) සමාගමේ බෙදාහැරීම් කළමනාකාර රුචිර වීරසිංහ මහතාට රන් සම්මානය හිමි විය. මෙම නවතම සංකල්පය හේතුවෙන් 2015 වසරේදී රු.මිලියන 196ක් ඉතිරි කර ගැනීමට සමාගමට හැකි වූ අතර එමගින් වසරක් තුළ ඉතිරි කෙරෙන මුදල රු. මිලියන 390 කි.
සිල්ලර පාරිභෝගිකයන් සඳහා බෙදාහැරීම් මුල්‍ය යෙදවුම් ක්‍රමවේදය හඳුන්වා දුන් හොල්සිම් (ලංකා) සමාගමේ භාණ්ඩාගාර සහ බදු කළමනාකාර අස්ලම් සයිෆුඩින් මහතාට රිදී සම්මානය හිමි විය. මෙම ක්‍රමවේදය හේතුවෙන් 2015 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා රු. මිලියන 96 ක ලාභ වර්ධනයක් අත්පත් කර ගැනීමට සමාගමට හැකි විය.
සිමෙන්ති නිෂ්පාදන පෝරණුව සඳහා යබොර ඇතුළත් කිරීමේ තීරයක් නිර්මාණය කිරීම උදෙසා නිහාල් විතාරණ, ශ්‍යාම් ජයසුන්දර, තිවංක අප්පුහාමි, ටී.ඒ. නිශාන්ත සහ සුමිත් පෙරේරා යන අයගෙන් සැදුම්ලත් සිමෙන්ති කාර්මික කාර්යසාධන කණ්ඩායමට ලෝකඩ සම්මානය හිමි විය. එමගින් ප්‍රාග්ධන වියදම රු. මිලියන 71 කින් අඩු කිරීමට සමත් විය.
ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා විශිෂ්ටතම විසඳුම් දීම සහ සවිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම තුළින් පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවක් සඳහා හොල්සිම් (ලංකා) සමාගම නිබඳ කැප වෙයි.
Video Story