July, 20, 2016
හොල්සිම් ලංකා සමාගම මෙරට ප්‍රථම හරිත පෙර පාසල අහංගම දික්කුඹුර ප්‍රදේශයේ ජනතාවට පසුගියදා නිල වශයෙන් බාර දුන්නේය. ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය මෙම සමාරම්භක උළෙලේදී ගොඩනැගිල්ල සඳහා සිය හරිත නාම සහතිකය පිරිනැමීම ද විශේෂත්වයකි.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු චන්දිම වීරක්කොඩි, ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ (CIOB) සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න සහ හොල්සිම් ලංකා සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු මහත්ම මහත්මීහු රැසක් සමාරම්භක උළෙල සඳහා සහභාගී වූහ.
"ශ්‍රී ලංකාවේ පළමු හරිත පෙර පාසලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දායක වීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. අනෙකුත් ප්‍රජා ගොඩනැගිලි සහ ඉදිකිරීම් ද තිරසාර මූලධර්ම මත පිහිටා සිදු කිරීමට මෙම හරිත පෙර පාසල ආදර්ශයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි." හොල්සිම් ලංකා සමාගමේ බාහිර කටයුතු සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් කළමනාකාර ක්‍රිශාන්ත ගමගේ මහතා සඳහන් කළේය.
පළාත් සභාවෙන් හිමි වූ ඉඩමක ඉදි කෙරුණු මෙම පෙර පාසලේ බිත්ති ගඩොලින් නිමවන ලද අතර එම ගඩොල් පෙර පාසල අසළ ස්ථානයකින් ලබා ගැනීමට කටයුතු කෙරිණි. වඩු කාර්මික ශිල්පීන් ප්‍රදේශය අවට දැව මෙන්ම වහල ඉදිකිරිම සඳහා මුළුමනින්ම ඇස්බැස්ටස් වලින් තොර හරිත නාමය සහිත සින්ක් ඇලුමිනියම් ජීඅයි තහඩු භාවිත කෙරිණි.
"තීන්ත සහ පොටි ආලේප කිරීම බෙහෙවින් සීමා කිරීමට අප කටයුතු කළා. ඊට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිබල පද්ධතිය වෙනුවට සූර්ය කෝෂ භාවිතා කරමින් සහ ජාතික ජල සැපයුම භාවිතයට ගැනීම වෙනුවට වැසි ජල සංරක්ෂණ පද්ධතියක් භාවිතා කරමින් මෙම ගොඩනැගිලි පරිශ්‍රය නිමවා තිබෙනවා." ක්‍රිශාන්ත මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
සමාරම්භක උළෙලේදී අදහස් දැක්වූ ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු චන්දිම වීරක්කොඩි මහතා මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් හොල්සිම් ලංකා සමාගමට සිය කෘතඥතාව පළ කළේය. "මෙම ව්‍යාපෘතිය සඳහා හබරාදුව ප්‍රදේශය තෝරා ගැනීම මේ ප්‍රදේශයේ ජනතාවට ගෞරවයක් වන අතර, මෙරට පළමු හරිත පෙර පාසල, තිරසාර අනාගතයක් කරා යන ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් ද වනවා."
""මම මේ පංති කාමරයට ගොඩක් කැමතියි. අපි පෙර පාසල ඇතුළේ සෙල්ලම් කරනවා. ඒත් අපට රස්නය දැනෙන්නේ ගොඩක් අඩුවෙන්. මම හැමදාම පෙර පාසල් එනවා. හොල්සිම් ලංකා සමාගමේ මාමලා නැන්දලාට ස්තුතියි කියනවා." පෙර පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකවන ඉමාෂි සිය අදහස් පළ කළේ එලෙසිනි.
ඉදිකිරීම් සඳහා ලැබුණු ව්‍යාපෘති යෝජනා රැස අධ්‍යයනය කළ හොල්සිම් ලංකා සමාගම, පංචාලිය පෙර පාසල දික්කුඹුර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බව හඳුනා ගත්තේය. "රුහුණු සිමෙන්ති වර්ක්ස් ප්‍රජා උපදේශන මණ්ඩලය (CAP) පංචාලිය පෙර පාසල එම ප්‍රදේශයේ අවශ්‍යතාවට සරිලන සේවාවක් ලබා දීමට තරම් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය." ක්‍රිශාන්ත මහතා අදහස් පළ කළේය.
සමාරම්භක උළෙලේදී අදහස් දැක්වූ දික්කුඹුරේ ජයන්ති විජේසූරිය මහත්මිය, "දැනට අප සතු පෙර පාසලේ ඉඩකඩ සහ පහසුකම් සීමිත වීම නිසා අපගේ දරුවන් ගැටළු රැසකට මුහුණ දුන්නා. හොල්සිම් ලංකා සමාගම අපගේ දරුවන්ට අගනා පෙර පාසලක් ලබා දී තිබෙනවා. සූර්ය බලශක්තිය සහ වැසි ජලය භාවිතයට ගැනීම ඉතා යහපත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මෙතරම් අගනා ප්‍රජා සත්කාරයක් සඳහා සිය දායකත්වය ලබා දීම වෙනුවෙන් හොල්සිම් ලංකා සමාගමට මා හදවතින් ම ස්තුතිය පළ කරනවා" යි ප්‍රකාශ කළාය.
තිරසාරත්වය සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සඳහා හොල්සිම් ලංකා සමාගම දක්වන කැපවීම මෙම හරිත පෙර පාසල මගින් තවදුරටත් පිළිබිඹු වේ. "සමස්ත ඉදිකිරීම් ක්‍රියාවලිය ම හරිත පරීක්ෂකවරුන්ගේ සමීප අධීක්‍ෂණයට ලක් වූ අතර, අද ඒ සඳහා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ හරිත නාම සහතිකය ද හිමි වී තිබෙනවා." ක්‍රිශාන්ත මහතා අවසාන වශයෙන් සඳහන් කළේය.
සේයාරූ සටහන : ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ හරිත නාම සහතිකය හිමි වූ මොහොත : හොල්සිම් ලංකා සමාගමේ බාහිර කටයුතු සහ ප්‍රජා සත්කාරක කළමනාකාර ක්‍රිශාන්ත ගමගේ, ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු චන්දිම වීරක්කොඩි, ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ මාණ්ඩලික සාමාජික සිදත් අමරසිංහ, ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ උප සභාපති රුවන් ද සිල්වා, හොල්සිම් ලංකා සමාගමේ තිරසාර සංවර්ධන, සන්නිවේදන සහ බාහිර කටයුතු ප්‍රධානී ෆර්සානා ඛාන්, හොල්සිම් ලංකා සමාගමේ බාහිර කටයුතු කළමනාකාර වෙනුර ප්‍රනාන්දු, හොල්සිම් ලංකා සමාගමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් කළමනාකාර චාලට් බවුට්බෝල්, හොල්සිම් ලංකා සමාගමේ තාක්ෂණ සහයෝගී කළමනාකාර සම්පත් විජේසේකර සහ ඉමදූව පළාත් සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති

ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු චන්දිම වීරක්කොඩි මහතා සමාරම්භක උළෙල අමතමින්

හොල්සිම් ලංකා සමාගම විසින් ඉදි කරන ලද මෙරට ප්‍රථම හරිත පෙර පාසල

හොල්සිම් ලංකා සමාගමේ තිරසාර සංවර්ධන-සන්නිවේදන සහ බාහිර කටයුතු ප්‍රධානී ෆර්සානා ඛාන් මහත්මිය සමාරම්භක උළෙලේදී අදහස් පළ කරමින්
Video Story