හොල්සිම් ලංකා සහ වර්ල්ඩ් විෂන් සංවිධානය එකමුතුවෙන් මුන්දලම සහ කල්පිටිය ප්‍රදේශවල ජනතාවට නිවාස

    February, 8, 2016

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ලොව දැවැන්ත සමාගමක්වන ලෆාජ්හොල්සිම් සමාගමේ සාමාජිකයෙකුවන හොල්සිම් ලංකා සමාගම, වර්ල්ඩ් විෂන් සංවිධානය සමග එක්ව මුන්දලම සහ කල්පිටිය ප්‍රදේශවල ජනතාවට නිවාස 40 ක් ලබා දීමට කටයුතු කළේය. නිවාස ජනතා අයිතියට පත් කිරීම පසුගිය ජනවාරි මස 28 වනදා උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණි.

    ආර්ථික සහ සමාජයීය වශයෙන් තිරසාර ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව, තාක්ෂණික, අමුද්‍රව්‍ය සහ මුල්‍යමය මූලාශ්‍ර ඒකාබද්ධ කරමින් සහ සවිබලගන්වමින් හොල්සිම් ලංකා සමාගමේත්, වර්ල්ඩ් විෂන් ලංකා සංවිධානයේත් කාර්යමණ්ඩල සාමාජිකයෝ මෙම ව්‍යාපෘතිය සඳහා සක්‍රීයව දායක වූහ.

    "තිරසාරත්වය වෙනුවෙන් ගත හැකි විශිෂ්ටතම විසඳුම් ලබා දෙමින් සමාජය තුළ සාමූහික අගනාකම් ගොඩනැගීම සඳහා හොල්සිම් ලංකා සමාගම නිබඳව කැප වෙයි. අප සමාගම සහ වර්ල්ඩ් විෂන් සංවිධානය අතර ඇති මෙම සබඳතාව තුළින්, පුද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධානවල ඇති විශේෂඥතාව ඒකාබද්ධ කිරීම තුළ ඇති වටිනාකම මැනවින් පිළිබිඹු වනවා. මුන්දලම සහ කල්පිටිය ප්‍රදේශවල සෙවනක් ඇවැසි ජනතාවගේ හිසට සෙවනක් ලබා දීමෙන් පමණක් නොනැවතී එම ජනතාව අතර කුසලතා සංවර්ධනය වෙනුවෙන් ද මෙම ව්‍යාපෘතිය කැප වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා." හොල්සිම් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පිලිප් රිචාර්ට් මහතා සඳහන් කළේය.

    ප්‍රජා මූලික කම්කරු බලකායක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව හොල්සිම් ලංකා සමාගමේත්, වර්ල්ඩ් විෂන් ලංකා සංවිධානයේත් තාක්ෂණ නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබන්නන් පුහුණු කිරීමේ සහ අධීක්ෂණ කටයුතු සිදු කෙරිණි.

    "හොල්සිම් ලංකා සමාගම සහ අප අතර ඇති කර ගත් මෙම සුවිශේෂී සබඳතාව තුළින්, මෙම ප්‍රදේශවල අවධානයට ලක් විය යුතු ජනතාවට සෙත සැලසීමට අපට හැකි වුණා. මෙමඟින් එම පවුල්වල මෙන්ම, එම පවුල්වල දරු-දැරියන්ගේ ද අනාගතය සුබදායක කෙරෙනු ඇති. හොල්සිම් ලංකා සමාගමේ පරිත්‍යාගශිලිත්වය වෙනුවෙන් ඔවුන්ට අපගේ ස්තුතිය පිරිනමන අතර, ඉදිරියේදීත් ඔවුන් සමග අත්වැල් බැඳ ගනිමින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණයි." හොල්සිම් ලංකා සමාගම සහ වර්ල්ඩ් විෂන් සංවිධානය අතර ඇති සබඳතාව පිළිබඳ අදහස් දක්වමින් වර්ල්ඩ් විෂන් ලංකා සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජොනතන් ජොන්සන් මහතා ප්‍රකාශ කළේය.

    හිසට සෙවනක් අවැසි ජනතාවට නිවාස ලබා දීමට අමතරව, සිය ප්‍රදේශවල පවතින අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් හස්ත කර්මාන්තයෙහි නිරත වීම සඳහා එළුවන්කුලම සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ 25 දෙනෙකු පුහුණු කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු විය. ජාතික ශිල්ප සභාව පුහුණු සැසි මෙහෙයවීය.

    සේයා රූ සටහන: (වමේ සිට දකුණට) වර්ල්ඩ් විෂන් ලංකා සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජොනතන් ජොන්සන්, ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමි වූ යූ.එල්. නිමන්ති සුනේත්‍රා මල්කාන්ති සහ ඇගේ පවුලේ සාමාජිකයන් සහ ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පිලිප් රිචාර්ට් යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති