July, 17, 2016
සංස්ථා සිමෙන්ති අපේ ඉතිහාසෙත් එක්ක බැඳෙන්නෙ වසර හැට හැත්තෑවකට එහා ඉඳල. පරම්පරා දෙකක් ශක්තිමත්ව ගොඩනගපු සංස්ථා නාමය එදා අපේ රටට ආඩම්බරයක් වුනේ එය අපේම රටේ අපේම දේපලක් වුන නිසා. විශ්වාසය, ලාංකීය බව වගේම හම්බ කරපු හැම සතේම අපේ රටටම ඉතුරු කරපු සංස්ථා සිමෙන්ති ශ්‍රී ලාංකීය ජීවිත වලට සමීප වුනේ හරියට ශක්තියෙන් උසින් උසට බැඳුනු පවුරු වගේ, සුරක්කෂාව දුන් බිත්ති වගේ, ඉදිරිය පෙන්වූ මං මාවත් වගේ එහෙමත් නැත්නම් එගොඩ මෙගොඩ යා කළ පාලම් වගේ.
පුංචි ගෙවත්තක පැලවෙලා උසින් මහතින් වැඩෙන ගහක අතු පතර ඒ ගෙවත්තේ රඳවගන්න බෑ වගේ පුත්තලමේ ඉපිද හැදී වැඩුනු සංස්ථා සිමෙන්ති නිෂ්පාදකයා තව දුරටත් අපේ වපසරිය තුළ රඳවගන්න අපිට බැරිවෙනවා. ඊට ප්‍රමාණවත් තරම් තාකෂණික කළමනාකරණ හා මූල්‍ය ශක්තිය අපිට තිබුනෙ නැති නිසා 1996 වසරේ ඉඳල එහි වගකීම හොල්සිම් බාරගන්නවා. හොල්සිම් බහුජාතික සමාගමක් වුනත් එය සංස්ථා සිමෙන්ති නිෂ්පාදන යාන්ත්රණයට මානුෂීය මුහුණුවරක් දෙනව. වඩා උසස් නවීන ක්රමෝපායන් එක්කරමින් මෙරට ඉදිකිරීම් ෙකෂ්ත්‍රයට අප්‍රමාණ ශක්තියක් වෙනව. ඉහල කොත්මලේ විදුලි බලාගාරය, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, දික්ඕවිට හා වාලච්ඡේන ධීවර වරායන්, දක්ෂිණ අධිවේගය හොල්සිම් ලංකා නමින් පන පෙවුනු සංස්ථා සිමෙන්තියේ ශක්තිය අපේ රට ගොඩනගන්නට දායක වූ උදාහරණ කිහිපයක් විතරයි.
හොල්සිම් ලංකා අපේ රටේ ව්‍යාපාර හා අලෙවි කළමනාකරණය ගැන පූර්වාදර්ශ සැපයූ ආයතනයක්. ගනුදෙනුකාර ප්‍රජාවටත් සේවකයිින්ටත් පරිසරයටත් ඉහල වටිනාකමක් දෙමින් මානවවාදී ගමනක් ගිය හොල්සිම් ලංකා මෙරට බෝහෝ ව්‍යාපාර වලට ජාත්‍යන්තරය පිලිගත් උසස් කලමණාකරණ ආචාරදර්ම කියල දුන්න. හොල්සිම් ලංකා අලූත් තාකෂණික ක්‍රමවේදයන් තුළින් නිෂ්පාදන ධාරිතාව වැඩිකරගනිද්දී දස දහස් ගනන් ලාංකිකයින්ට රැකියා අවස්ථා වගේම පුහුණු අවස්ථාත් නිර්මාණය වුනා. සංස්ථා සිමෙන්ති නිෂ්පාදකයාගේ වගකීම බාරගත් දවසේ ඉඳල වගකීම, වගවීම හා විනිවිධභාවය ඇතුලූ සියලූ යහ පාලන මූලධර්මයන්ට අනුව යමින් සාර්ථකත්වයේ හිනිපෙත්ත අසල සිටින හොල්සිම් දැන් සිය වගකීම පවරන්න තමන්ටත් වඩා විශ්වාසනීය ශක්තිමත් අවංක ව්‍යවසායකයෙක් හොයනව.
ඒත් එක්කම ආයෙමත් සාඩම්බර ඉතිහාස කතාවක් අනාගතයත් එක්ක ගැටගහන්න අපට අවස්ථාව අපට උදාවෙලා. අපේ ගෙවත්තේ වපසරිය වැඩි කරගන්න කාලය ඇවිල්ල. යුද්ධය නිසා අවුරුදු තිහක් මන්දගාමී වුන ශ්‍රී ලංකාව අධි වේගී ගමනක් අරඹපු මේ වෙලාවෙ රටේ හැම තැනම පාරවල් හැදෙනව. අහස උසට ගොඩනැගිලි හැදෙනව. වාරි මාර්ග ජල විදුලි පද්ධති පුළුල් වෙනවා. වරාය ගුවන් තොටුපල වගේම සාගර මැද කොන්ක්‍රීට් නගර ඉදිවෙනව.
ඉතින් මේ තරම් දැවැන්ත ඉදිකිරීම් ෙකෂ්ත්‍රයට ප්‍රමාණවත් තරම් සිමෙන්ති නිෂ්පාදන සැපයීමට අපි දැන් සූදානම්ද? ඒ සඳහා අවශ්‍ය මානසික හා තාකෂණික ශක්තිය අප සතුද? එහි බර දරාගන්නට තරම් ලංකාව සූදානම්ද? ඒ සඳහා ප්‍රමාණවත් මූල්‍ය පදනම ඇති ව්‍යවසායකයින් අප සතුද?
මේ සෑම පැනයකටම සුභවාදී විසඳුමක් දෙන්න අපි දැන් සුදානම් විය යුතුයි. ඒක අභියෝගයක්. හොල්සිම් ලංකා සාර්ථක දකෂ ව්‍යාවසායකයෙකුට විකිනීමේ මවු සමාගමේ තීරණය ප්‍රකාශයට පත්වෙන්නෙ මේ අභියෝගය අප ඉදිරියෙන් තියෙන වෙලාවක.
හොල්සිම් කියන්නෙ ලෝකයේ වැඩියෙන්ම සිමෙන්ති නිෂ්පාදනය කරන ලෝක බලවතාට හිමි දේපලක්. පෙර නොවූ විරූ ව්‍යාප්තියක් ඇති නවීන හා ශක්තිමත් ඉදිකිරීම් ද්‍රව්‍ය සමාගමක්. නවීන ලෝකයක ඉල්ලුම සපුරාලීම පිණිස අවම යෙදවුම් තුළ උපරිම ඵලදායීතාවක් ලබාගනිමින් සිමෙන්ති කර්මාන්තය තුළ සෑම අංශයකින්ම ප්‍රමුඛයා වීමට සුවිශේෂී ඉඩ ප්‍රස්ථාවක් හිමි කරගත් දැවැන්තයෙක්. මිලියන ගණනක ගනුදෙනුකරුවන්ට සේවය කරන, රටවල් 90කට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්ත වුන, ලකෂ ගනණකට අධික සේවකයින් සහිත පරිණත දේපලක්.
අපේ රටට සංස්ථා සිමෙන්ති දෙන හොල්සිම් ලංකා සිය මවු සමාගමේ සියලූ ගුණාංගයන් ගුරුකොටගත් ආදර්ශවත් සමාගමක්. අභ්‍යන්තර හා ජාත්‍යන්තර ව්‍යාපාරකරණයේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා මානව සංවර්ධනය මුල්කරගත් ජාත්‍යන්තර මූල්‍ය හා ව්‍යාපාර නීතීන්ට අනුකූල පරිසර හිතකාමී නිෂ්පාදකයෙක්. එය මිලදීගැනීමට ඇත්තේ ජාත්‍යන්තර විශ්වාසඑතරම් ශක්තියෙන් හා මානවීය ගුණයෙන් පිරුණු දේපලක්.
මෙවැනි දේපලක හිමිකාරීත්වය ලැබීම යනු හුදෙක් එක් ව්‍යාපාරයක හිමිකරුවෙක් වීම නොවේ. එම ව්‍යාපාරය සමග ඒකාත්මික වූ විශ්වාසය, මානව සංහතිය හා අනාගත ලෝකය පිළිබඳ වගකීම, යහපාලන මූලධර්ම පෙරටු කොටගත් කළමනාකරණ ආචාරධර්ම, පරිසරයේ පැවැත්ම හා ඵලදායිතා එළඹුම්, ඇතුලූ දැවැන්ත වගකීම් සම්භාරයක හිමිකරුවා වීමයි. ඒ සඳහා සුදුසුකම් ලැබිය හැක්කේ නිවැරදි ව්‍යාපාර දර්ශනයක් මෙන්ම යහපත් අනාගත දැක්මක් සහිත පිරිපුණ් ව්‍යවසායකයෙකු ට පමණයි. එවන් තත්වයක අද මෙම පරිණත දේපලෙහි හිමිකරුවා වීමේ සටනට චීනය, ඉන්දියාව හා තායිලන්තය වැනි දැවැන්තයින් සමග අපේ රටේ ව්‍යවසායකයින් දෙදෙනෙක් එක්ව සිටින බව අප මෙහි සටහන්කරන්නේ ගෞරවනීය ආඩම්බරයකින්.
ඒ උදක්ම ලාංකීය සිත් සතන්හී අඩ සියවසක් තිස්සේ ඇඳි සංස්ථා සිමෙන්ති හිමිකම යලි ලබාගැනීමට හැකිවෙන නිසාම නෙවෙයි, සංස්ථා සිමෙන්ති යළිත් මෙරට ජාතික ධනයේ ප්රමුඛ පංගුකාරයෙකු වෙන නිසාමත් නොවේ, දේශ සීමා පරයා ව්‍යාපාර ලෝකය විජය කල, අනාගත ලෝකය අපේකෂාවෙන් සිටින පරිපූර්ණ ව්‍යාපාරයක හිමිකරුවා වීමට ශ්‍රී ලාංකිකයෙක් සමත් වීමේ අප්‍රමාණ ගෞරවය නිසාමයි.
මිහිදුම් සේනානායක
කළමනාකරු- මහජන සබඳතා
පැනොරමික් ක්රියේෂන්ස්්
කොළඹ
Video Story