September, 25, 2025
ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක පාසල් ඉදිකර කර ඇති ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම (Fly & Help Foundation) පසුගියදා ශ්‍රී ලංකාවේ හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සමග එක් වී සිය 1,000 වැනි ගෝලීය පාසල වෙන්නප්පුවේදී විවෘත කළේය. ගෝලීය අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු ඇත.
තනිව ලොව පුරා සිදුකරන ලද සංචාරයකින් අනතුරුව තමන් ලද අත්දැකීම් තුළින් පන්නරය ලබමින් Rainer Meutsch විසින් 2009 වසරේදී ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම ආරම්භ කරන ලදි. කෙටි කාලයක් තුළ දැවැන්ත වර්ධනයක් අත්පත් කරගත් එම පදනම මේ වන විට මහාද්වීප තුනක රටවල් 57 ක ක්‍රියාත්මක වේ. පසුගිය වසර15 තුළ එම පදනම අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ පාසල් සිය ගණනක් ඉදිකර ඇති අතර, එය සිදුකරනු ලබන්නේ තමන්ට ලැබෙන සෑම පරිත්‍යාගයක්ම නිසි ප්‍රතිලාභීන්ට හිමි වන බව සහතික කරන විශ්වාසනීය හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමිනි.
ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම සිය 1,000 වැනි පාසල ශ්‍රී ලංකාවේ පිහිටුවීමට තීරණය කිරීම, ශ්‍රී ලංකාවට ගෞරවයක් රැගෙන එන පියවරක් ලෙස හැඳින්විය හැක. හේමාස් අවුට්රීච් පදනම 2013 වසරේ සිටම ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනමේ ශ්‍රී ලාංකික හවුල්කරු ලෙස කටයුතු කර ඇති අතර, එම හවුල්කාරීත්වය යටතේ පියවර පෙර පාසල් 31 ක ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස නිමකර තිබේ.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් ලබාදෙන ලද ඉඩමක ඉදිකරන ලද මෙම පාසල, දරුවන් 75 දෙනෙකුට අධ්යාපනය ලැබිය හැකි සුවපහසු හා සුරක්ෂිත වටපිටාවක් තුල නිර්මාණය කර ඇත. පාසල සඳහා ප්‍රාදේශීය සභාව මගින් පත් කර ඇති ගුරුවරුන් මින් ඉදිරියට හේමාස් අවුට්රීච් පදනමේ ‘පියවර’ පාසල් ජාලය සමග එක්ව කටයුතු කරනු ඇත.
“මේ ආකාරයට අපගේ 1,000 වන පාසල විවෘත කිරීම මට මෙන්ම අපගේ පදනමට ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. අපගේ ශ්‍රී ලාංකික හවුල්කරුවන් වන හේමාස් අවුට්රීච් පදනම සමග එක් වී අප මේ විවෘත කළේ හුදෙක් පාසලක් පමණක් නොවෙයි. මෙය දරුවන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා නව අවස්ථා නිර්මාණය කරන තෝතැන්නක්. දීප්තිමත් අනාගතයක් සඳහා යතුර අධ්‍යාපනයයි. මේ ආකාරයට රටවල් 57 ක පාසල් 1,000 ක් විවෘත කරමින්, ලොව පුරා දරුවන්ට අධ්‍යාපනය ඔස්සේ අනාගත සුබ සිහින දකිමින් තම ජීවිත තමන්ට කැමති පරිදි හැඩගස්වා ගැනීමට අවස්ථාව ලබාදීමට හැකි වීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වනවා.” ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනමේ නිර්මාතෘ Rainer Meutsch පැවසීය.
මෙම නව පියවර පෙරපාසැල මගින් දරුවන්ට මෙන්ම සමාජයටද සුවිශාල යහපතක් සිදුවනු නිසැකය. එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාව තුළ මුල් ළමා විය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන හේමාස් අවුට්රීච් පදනම ඇතුළු දේශීය හවුල්කරුවන්ගේ විනිවිදභාවය හා වගවීම පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත.
හේමාස් අවුට්රීච් පදනම විසින් 2002 වසරේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමග එක් වී ‘පියවර’ වැඩසටහන ආරම්භ කරන ලදි. එය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසය සහිත රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් අතරින් එකක් ලෙස සැලකේ. මේ වන විට දිවයින පුරා ස්ථාපිත කර ඇති පියවර පෙරපාසැල් ගණන 76 කි.
“දීප්තිමත් අනාගතයන් ගොඩනැංවෙන පදනම වන්නේ මුල් ළමා විය අධ්‍යාපනයයි. මේ ආකාරයට ගෝලීය හවුල්කරුවන් තුළ විශ්වාසය ඇතිකරවමින්, සැමට විවෘත ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීමෙහි කොටස්කරුවෙකු බවට පත් වීමට හැකි වීම පිළිබඳව අප නිහතමානීව සතුටු වනවා. සෑම දරුවෙකුගේම ජීවිතයට හොඳම ආරම්භයක් ලැබිය යුතුය යන විශ්වාසය මූලික කරගනිමින් අප කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමග ඇතිකරගත් හවුල්කාරීත්වයට දැන් දශක දෙකකට වැඩි ඉතිහාසයක් තිබෙනවා. ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම සමග එක්ව අප මේ උත්සාහ කරන්නේ, සෑම ‘පියවර’ පෙරපාසැලක්ම සමාජයේ තිරසාර අංගයක් බවට පත්කරමින්, ඒවාට දීර්ඝකාලීනව නිසි සහයෝගය, අධීක්ෂණය හා අත්වැල හිමි වන බව සහතික කිරීමටයි.” හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවාය.
“ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් සහ හේමාස් අවුට්රීච් පදනම අතර දිගුකාලීන හවුල්කාරිත්වය, එකම අරමුණක් සහිත සහයෝගීතාවයන්හි සාර්ථකත්වයට මනා සාක්ෂියක්. ශ්රී ලංකා රජය සහ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් අප කෙරෙහි තැබූ විශ්වාසයට අපි සැබවින්ම කෘතඥ වෙනවා. දරුවන්ගේ අනාගතය සඳහා පොදු දැක්මක් ඇති හවුල්කරිත්වයන් එකට එකතු වූ විට, 1,000 වන ගෝලීය පාසල ආරම්භ කිරීම වැනි මෙවැනි කැපී පෙනෙන ජයග්රහණ යථාර්ථයක් බවට පත්වෙනවා..” හේමාස් අවුට්රීච් පදනමේ සභාපති/ හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ අධ්‍යක්ෂ අබ්බාස් යුසුෆලි මහතා පැවසීය.
ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා-www.fly-and-help.de/en වෙතත්, හේමාස් අවුට්රීච් පදනම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.hemasoutreach.com වෙතත් පිවිසෙන්න.

(වමේ සිට) ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනමේ සහ හේමාස් අවුට්රීච් පදනමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් 1,000 වන ගෝලීය පාසල විවෘත කිරීම නිමිත්තෙන් වූ සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, හේමාස් අවුට්රීච් පදනමේ සභාපති සහ හේමාස් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ අබ්බාස් යුසුෆලි, ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනමේ නිර්මාතෘ Rainer Meutsch සහ හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකොරාළ යන මහත්ම මහත්මීන්

ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනමේ 1,000 වන ගෝලීය පාසලේ සිසුන් හා ගුරුවරුන් සමග ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් කණ්ඩායම

වෙන්නප්පුව ප්‍රදේශයේ අලුතින් විවෘත කරන ලද පියවර පෙර පාසල
ඡායාරූ විස්තරය - (වමේ සිට) ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් නිර්මාතෘ Rainer Meutsch, හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ, ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් නියෝජ්‍ය සභාපති Silanca Weihmann සහ හේමාස් අවුට්රීච් පදනමේ සභාපති සහ හේමාස් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ අබ්බාස් යුසුෆලි යන මහත්ම මහත්මීන් 1,000 වන ගෝලීය පාසල විවෘත කරමින්