ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ උපකුලපති කොළඹ වරාය නගරයේ සංචාරයක

    July, 4, 2024

    ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය කොලින් ජේ.ස්ටර්ලින් (Colin J. Stirling), කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තුළ සැලසුම් කර ඇති අධ්‍යාපනික ආයෝජන අවස්ථා පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවල කොටසක් ලෙස පසුගියදා කොළඹ වරාය නගර පරිශ්‍රයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ පැමිණි නියෝජිත කණ්ඩායමට Gateway ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් ද ඇතුළුව තවත් නිළධාරීන් පිරිසක් ද එක් විය. පැමිණි නියෝජිත කණ්ඩායම CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහරේ සහ අනෙකුත් නියෝජිතයින් විසින් පිළිගන්නා ලදී. මහාචාර්ය ස්ටර්ලින්ගේ කොළඹ වරාය නගර සංචාරයට පෙරාතුව, ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය අක්වෙරළ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවක ද නිරත විය. ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම අග්‍රාමාත්‍ය ලේකම් සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයකු ද වන  අනුර දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අය ද හමුවීමට කටයුතු කළහ.

    කොළඹ වරාය නගරයේ Sales Gallery පරිශ්‍රයේ සිදුකරන ලද කෙටි චාරිකාවක් සහ වරාය නගරය පිළිබඳව පැවැති සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් මෙම සංචාරයට ඇතුළත් විය. එහිදී පැමිණි නියෝජිත පිරිසට ව්‍යාපෘතියේ විෂය පථය, ඉදිකිරීම් වල ප්‍රගතිය සහ කොළඹ වරාය නගරය, දකුණු ආසියානු කලාපයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් මෙන්ම මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ද අනාගතයේ දී ලෝකයට විවෘත වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන ලදී. දේශීය සහ විදේශීය සිසුන් අතර අන්තර් සංස්කෘතික සබඳතා ගොඩනඟා ගැනීමට, කුසලතා සංවර්ධනයට සහ අනාගතයේ දී අභියෝගාත්මක වෘත්තීන් සඳහා ඔවුන්ව සූදානම් කිරීමට අවශ්‍ය පරිසරයක් කොළඹ වරාය නගරයේ නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාල නියෝජිත පිරිසට Marina Promenade, The Downtown Duty-Free Mall සංවර්ධන ව්‍යාපෘතිය සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් සඳහා වෙන් කර ඇති හෙක්ටයාර 2.5 ක ඉඩම ද ඇතුළුව කොළඹ වරාය නගර ව්‍යාපෘති භූමියේ විශේෂිත ස්ථාන කිහිපයක් ද මෙම සංචාරයේ දී දැකබලා ගැනීමට අවස්ථාව සලසන ලදී.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුගියදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වූ පරිදි, ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය ස්ථාපනය කිරීම මගින් රටේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමට සහ දේශීය සිසුන්ට අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය ප්‍රවේශයක් ද ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. එමෙන්ම ශ්‍රී ලංකා රජය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් මේ සඳහා අවසාන අනුමැතිය ලබා දීමෙන් පසුව ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය සමඟ සාර්ථක හවුල්කාරිත්වයකට එළඹීමට කොළඹ වරාය නගරය සූදානමින් සිටී.