ෆැෂන් බග් දක්ෂ සිත්තරුන් ඇගයීමට ශිෂ්‍යත්ව පිරිනමයි

    January, 1, 2016

    දිවයින පුරා පිහිටි අලෙවි ශාඛා 16 කට අධික සංඛ්‍යාවකින් යුතු, මෙරට විශාලතම ඇඟලුම් අලෙවි දාමයක්වන ෆැෂන් බග් සමාගම අඛණ්ඩව 5වන වරටත් සංවිධානය කළ "රූ සිත්තම්" සමස්ත ලංකා චිත්‍ර ප්‍රදර්ශනයේදී කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කළ සිසුන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

    ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන සිසු දරුවන් හට මානසික පීඩාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින්, මෙම ශිෂ්‍යත්ව ෆැෂන් බග් සමාගමේ ප්‍රධානතම ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන "සිසු දිරිමග" වැඩසටහන යටතේ ප්‍රදානය කෙරේ. අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර, ෆැෂන් බග් සමාගම නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ශබීර් සුබියාන්, එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්. එච්. එම්. ෆරාස් සහ නියෝජ්‍ය කළමනාකාර-අලෙවි එස්.එම්. ෆහාම් යන මහත්වරු ද උළෙල සඳහා සහභාගී වූහ.

    මේ අනුව, රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ කවිෂ්කා දෙව්මිණි සමරතුංග සහ කෑගල්ල කන්‍යාරාමයේ කව්ෂි සෙනුරි සිසුවියන් හට ශිෂ්‍යත්ව හිමි වූ අතර, දිවයින පුරා පාසල් දරුවන් වෙනුවෙන් මෙම අවස්ථාව තවදුරටත් ව්‍යාප්ත කිරීම ෆැෂන් බග් සමාගමේ අරමුණයි.

    "ඕනෑම දරුවකුට ලබා ගත හැකි වටිනාම සම්පත අධ්‍යාපනයයි. එහෙත් අවාසනවට මෙන්, විවිධ හේතූන් නිසා බොහෝ දරුවන් හට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතාවන් ඊට ප්‍රධානතම හේතුවක් වනවා. මෙම වැඩසටහන තුළින්, ඔවුන්ට බාධක ජය ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමටත්, සමාජයේ උන්නතිය වෙනුවෙන් දායකත්ව දීමටත් හැකියාව ලැබෙනවා." ෆැෂන් බග් අධ්‍යක්ෂ සහ සිසු දිරිමග වැඩසටහනේ නිර්මාතෘ ශබීර් සුබියන් මහතා සඳහන් කළේය.

    මේ වසරේ ලෝක ළමා දිනයට සමගාමීව පැවති රූ සිත්තම් චිත්‍ර තරගය සඳහා දිවයිනේ පාසල් 220 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිසු දරුවෝ 450 කට අධික පිරිසක් සහභාගී වූහ. වයස් ඛාණ්ඩ තුනක් යටතේ පැවති තරගය සඳහා 50,000 කට අධික චිත්‍ර යොමු වී තිබීම විශේෂත්වයකි.
    සම්මානනීය ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන සිසු දිරිමග වැඩසටහන තුළින් පාසල් 20 ක සිසු දරුවන් 7000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර, දිවයිනේ නන් දෙස පිහිටි පාසල් 120 ක සිසු දරුවන් 100,000 ක ඉලක්කයට ළඟා වීම සමාගමේ අරමුණයි.

    "මෙරට පළමු පාසල් සහෘද මාර්ගෝපදේශකයන් පුහුණු කිරීමේ වැඩසටහන දියත් කරමින් නුවර පළාතේ ප්‍රධාන පෙළේ පාසල් 10 ක උසස් පෙළ සිසුන් 100 ක් සඳහා උපදේශන පුහුණු වැඩසටහනක් පැවැත්වීමට අප සමත් වුණා. මෙම වැඩසටහන 2016 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශය සමග සම්බන්ධ වෙමින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇති." ෆැෂන් බග් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්.එච්.එම්. ෆරාස් මහතා ප්‍රකාශ කළේය.

    මෙමගින් වර්තමානයේ පාසල් දරුවන් තුළ පැනනැගෙන බහුතරයක් ගැටළු විසඳීමට හැකි වෙතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    ෆැෂන් බග් හවුල්කරුවන් 4ක් සමග හවුල්කාර ව්‍යාපාරයක් ලෙස 1994 වසරේදී මෙරට වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කළේය. ආරම්භයේදී 15 දෙනෙකුගෙන් සමන්විත වූ ෆැෂන් බග් කාර්යමණ්ඩල බලඇණිය මේවන විට 1250 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති අතර දිවයින පුරා විසිරී ඇති 16කට අධික අලෙවි මධ්‍යස්ථාන ජාලය තුළ ඔවුහු සේවය කරති. "වෙනස්වන ජීවන රටාවට" ෆැෂන් බග් දැක්ම අනුව යමින් එය මේවන විට මෙරට ක්‍රියාත්මක අංක එකේ ඇඟලුම් අලෙවි ජාලයක් ලෙස වැජඹෙයි.

    අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා සිසුන් දෙදෙනකු වෙත සිසු දිරිමග ශිෂ්‍යත්ව ලබා දුන් මොහොත. ෆැෂන් බග් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්.එච්.එම්. ෆරාස් මහතා (වම) සහ එම සමාගමේ අධ්‍යක්ෂ ශබීර් සුබියාන් මහතා ඡායාරූපයේ වෙති.