ෆැෂන් බග් ධම්මික කිතුල්ගොඩ ශිෂ්‍යත්ව පදනමට අනුග්‍රාහකත්වය ලබා දෙයි

    January, 19, 2016

    දිවයින පුරා පිහිටි ශාඛා 16 කට අධික සංඛ්‍යාවකින් යුතු, මෙරට විශාලතම ඇඟලුම් අලෙවි දාමයක්වන ෆැෂන් බග් සමාගම, "පාර්ලිමේන්තු සේවක සංගමය" විසින් අ.පො.ස සා/පෙළ, උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සංවිධානය කරන ලද උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්නේය.

    ජනවාරි 1 වනදා පැවති මෙම උළෙලේදී, 2014/2015 කාලය තුළ උ/පෙළ සහ සා/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ සහ සම්මාන සාමාර්ථ ලබා ගත් දූ දරුවන්ගේ හැකියාවන් ඇගයුමට ලක් කෙරිණි. පාසල් සිසුන්, පවුලේ සාමාජිකයන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් ඇතුළු 400 කට අධික පිරිසක් උළෙල සඳහා සහභාගී වූහ.

    "මෙම සමාජ වගකීම් වැඩසටහන සඳහා සම්බන්ධ වීම අප ගෞරවයක් කොට සලකනවා. හෙට දවසේ නායකයන් වන්නේ අද දවසේ දරුවන්වන බැවින් වර්තමානයේ අධික මිල ගණනක් වැයවන ප්‍රමිතියෙන් ඉහල අධ්‍යාපනය ඔවුන් වෙනුවෙන් ලබා දීම අපට බැහැර කළ නොහැකි වගකීමක් වනවා. මුල්‍යමය ගැටළු පිළිබඳ පීඩනයට ලක් වීමෙන් තොරව නිදහසේ තමන්ට රිසි මාර්ගයක් ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මෙම ශිෂ්‍යත්වය උපකාරීවනු ඇති." ෆැෂන් බග් අධ්‍යක්ෂ මෙන්ම සිසුදිරිමග පදනමේ ප්‍රාරම්භක ශබීර් සුබියාන් මහතා සඳහන් කළේය.

    "විශේෂයෙන් අධ්‍යාපන අංශයේ උන්නතිය වෙනුවෙන් රාජ්‍ය-පෞද්ගලික සුසංයෝගය මේවන විට බෙහෙවින් ඵලදායී වී ඇත. ලාංකේය ප්‍රජාවගේ සුබසාධනය ඉලක්ක කර ගනිමින් සිය ව්‍යාපාරික මූලෝපාය ක්‍රියාත්මක කරන සමාගමක් ලෙස අප, ඉදිරි මාස කිහිපය තුළ ද තවත් මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    "මීට පෙර ද ධම්මික කිතුල්ගොඩ පදනමට සිය සම අනුග්‍රාහකත්වය ලබා දී ඇති ෆැෂන් බග් සමාගම, අනාගතය වෙනුවෙන් කරන සුබවාදී ආයෝජනයක් ලෙස "සිසුදිරිමග" නම් නවතම ප්‍රජා සත්කාරක වැඩසටහන ද මෑතකදී ආරම්භ කළා. ඊට අමතරව පළමු වරට සහෘද මාර්ගෝපදේශන වැඩසටහන ද ආරම්භ කළ ෆැෂන් බග් සමාගම, 2016 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශය සමග අත්වැල් බැඳ ගනිමින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක වෙත එය ගෙන යාමට ද සැලසුම් කර තිබෙනවා." ෆැෂන් බග් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්.එච්.එම්. ෆරාස් මහතාගේ අදහසයි.

    පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් නීල් සිරිවර්ධන සහ සහකාර ලේකම් කුෂානි රෝහණධීර මෙනවිය ද මෙම උළෙල සඳහා සහභාගී වූහ.

    සම්මානනීය ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන සිසු දිරිමග වැඩසටහන තුළින් පාසල් 20 ක සිසු දරුවන් 7000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර, දිවයිනේ නන් දෙස පිහිටි පාසල් 120 ක සිසු දරුවන් 100,000 ක ඉලක්කයට ළඟා වීම සමාගමේ අරමුණයි. තවද වර්තමානයේ පාසල් දරුවන් තුළ පැන නැගී ඇති විවිධ ගැටළු සඳහා වූ විකල්පයක් ලෙස රට තුළ සියලු ම පාසල් වෙත සහෘද මාර්ගෝපදේශනය ගෙන යාම ඉලක්කයයි.
    ෆැෂන් බග් හවුල්කරුවන් 4ක් සමග හවුල්කාර ව්‍යාපාරයක් ලෙස 1994 වසරේදී මෙරට වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කළේය. ආරම්භයේදී 15 දෙනෙකුගෙන් සමන්විත වූ ෆැෂන් බග් කාර්යමණ්ඩල බලඇණිය මේවන විට 1250 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති අතර දිවයින පුරා විසිරී ඇති 16කට අධික ශාඛා ජාලය තුළ ඔවුහු සේවය කරති. "වෙනස්වන ජීවන රටාවට" ෆැෂන් බග් දැක්ම අනුව යමින් එය මේවන විට මෙරට ක්‍රියාත්මක අංක එකේ ඇඟලුම් අලෙවි ජාලයක් ලෙස වැජඹෙයි.

    ඡායාරූපය - පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සිසු දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින්. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් නීල් සිරිවර්ධන, පාර්ලිමේන්තු සහකාර ලේකම් කුෂානි රෝහණධීර, ෆැෂන් බග් අධ්‍යක්ෂ ශබීර් සුබියාන් සහ එම සමාගමේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී ආචාර්ය එස්.එච්.එම්. ෆරාස් යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ වෙති.