ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ නම ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් වෙයි

    July, 14, 2020

    යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ ප්‍රමුඛත ම ස්කින් කෙයාර් සන්නාමයක්වන 'ෆෙයාර් ඇන්ඩ් ලව්ලි' සන්නාමය වෙනස් කිරීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව, කාන්තාවන්ගේ සුන්දරත්වය යන්නට පුළුල් අර්ථයක් ලබා දෙමින් එම සමාගම 'ෆෙයාර් ඇන්ඩ් ලව්ලි' සන්නාමයෙන් 'සුදු පැහැය' යන අර්ථය ලබා දෙන 'Fair' යන වචනය ඉදිරියේදී භාවිත නොකිරීමට තීරණය කර ඇති අතර එම නම 'ග්ලෝ ඇන්ඩ් ලව්ලි' ලෙස වෙනස් කිරීමට තීරණය කර ඇත.

    පසුගිය වසර ගණනාව පුරා ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නිෂ්පාදනයේ දැන්වීම්කරණ කටයුතු කාන්තාව සවිබලගැන්වීමේ පණිවිඩය සන්නිවේදනය කිරීම සඳහා ක්‍රමයෙන් යොමු විය. ඕනෑම අයෙකු සතු ස්වභාවික සමේ පැහැයට නිසි ගරුත්වය ලබා දීම එම නව සන්නාමයේ අරමුණයි. 2019 වසරේදී සම 'සුදු කිරීම' වැනි නාමකරණවලින් බැහැරව වෙනස් මගක් ගනිමින් සෞඛ්‍යසම්පන්න සමක ලක්ෂණවන ස්වභාවික වර්ණය, පැහැදිලි බව සහ දීප්තිමත් බව නිරූපණය කරමින් එම සන්නාමයේ සන්නිවේදන කටයුතු සහ ඇසුරුම්කරණය ද ක්‍රමිකව වෙනස් කෙරිණි. එම ගමන්මගේ තවත් පියවරක් ඉදිරියට තබමින් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නාමය ද 'ග්ලෝ ඇන්ඩ් ලව්ලි' ලෙස වෙනස් කෙරේ. තවද, ශ්‍රී ලාංකේය අනන්‍යතාව විදහාපාමින් අපගේ දේශයේ කාන්තාවන්ගේ සුන්දරත්වයේ විවිධත්වය නිරූපණයවන පරිදි ඉදිරි දැන්වීම්කරණ කටයුතු සිදු කිරීමට ද එම සමාගම තීරණය කර ඇත.

    "මෙරට කාන්තාවන්ගේ සුන්දරත්වයේ විවිධත්වය නිරූපණය කිරීමට අපගේ ස්කින් කෙයාර් නිෂ්පාදන පෙළ නැවුම් දැක්මකින් යුතුව වෙළඳපොළට නිකුත් කිරීමට අප තීරණය කර තිබෙනවා. සමේ ස්වභාවික දීප්තිය සහ නිකැළැල් බව ආදී සෞඛ්‍යසම්පන්න සමක තිබිය යුතු ගුණාංග පාරිභෝගිකයන්ට ලබා දීමට අප බැඳී සිටිනවා. අප අපගේ සන්නිවේදන කටයුතු වෙනස් කිරීමට තීරණය කළේ එම දැක්මට සරිලන ලෙසයි. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ ඇති 'ෆෙයාර්' වචනය ඉදිරියේදී ඉවත් කෙරෙන අතර නව 'ග්ලෝ ඇන්ඩ් ලව්ලි' නාමයෙන් යුතු ඇසුරුම් වෙළඳපොළේ ඉදිරියේදී දැකගත හැකි වනු ඇත," යනුවෙන් යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ සභාපතිනී සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆීෆි-ලාඩෙල් මහත්මිය සඳහන් කළාය.

    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි යනු පාරිභෝගික අවශ්‍යතාව මත නවීන තාක්ෂණයත්, සමට අවශ්‍ය නිසි පෝෂණ සත්කාරයත් කැටිකොට සමේ දුර්වර්ණ වීම අවම කර සමේ ස්වභාවිකත්වයට හානි කරන බාහිර සාධකවලින් සම ආරක්ෂා කරන නිෂ්පාදනයකි. එමෙන්ම ඕනෑම කාන්තාවකට සමට අවශ්‍ය පෝෂණ සත්කාරය දැරිය හැකි මිලකට ලබා දීමට ද යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගම කටයුතු කරයි. එහි අඩංගු විටමින් B3, B6, C සහ E මෙන්ම ඇලන්ටොයින් මගින් සමේ පැහැදිලි බව වැඩි කරමින් සමස්තයක් ලෙස සමේ දිදුලන බව වැඩි කරයි. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි යනු කිසිඳු 'බ්ලීචිං' කාරකයක් අඩංගු නොවන නිෂ්පාදනයක් නිසා සමට කිසිඳු හානියක් සිදු නොවේ.
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ සිදු කරන ලද වෙනස්කම් වලට අමතරව යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ අනෙකුත් ස්කින් කෙයාර් නිෂ්පාදන ද මෙම ධනාත්මක චින්තනය පදනම් කර ගනිමින් සුන්දරත්වය දෙස පුළුල් දැක්මකින් බැලීමට පොළඹවන නව මුහුණුවරකින් හඳුන්වා දීමට එම සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇත.