July, 8, 2020
Covid-19 වසංගතයේ පැතිරීම සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වී ශ්‍රී ලංකාවේ දෛනික කටයුතු නැවත ආරම්භ වීමත් සමගම, ඇන්කර් නිෂ්පාදන වෙළඳපොළට රැගෙන එන ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගිය ජූලි 06 වන දින තම ප්‍රධාන කාර්යාලයේදී සර්වාගමික ආශීර්වාද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේ ය.
වසංගතය පවතින කාලසීමාව තුළ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු ක්‍රියාකාරීව පැවතුණු නමුත් එහි සියලුම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පැමිණියේ ජූලි 06 වන සඳුදා දින සිට ය. මෙහිදී Covid-19 වසංගතයේ තර්ජනය පැවති කාලසීමාවේදී රට වෙනුවෙන් ඇපකැප වී සේවය කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායන්හි සාමාජිකයන් මෙන්ම, ෆොන්ටෙරා සමාගමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්, කිරි ගොවියන්, සැපයුම්කරුවන්, දීපව්‍යාප්ත නියෝජිතයන්, අලෙවිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියලුම දෙනා උදෙසා කෘතඥතා පූර්වකව සෙත් පැතීම සිදුවිය.
එමෙන්ම Covid-19 වසංගතය සාර්ථකව පාලනය කර ලෝකයට ආදර්ශයක් ලබාදීමට සමත් වූ ආකාරයට ඉදිරියටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ශක්තිය ධෛ්‍යර්යය ලැබේවා යන ප්‍රාර්ථනයද මෙහිදී සිදුකෙරිණි.
මෙම සර්වාගමික ආශීර්වාද වැඩසටහන, ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම එහි නව කළමනාකාර අධ්‍යක්ෂවරිය වන විද්‍යා සිවරාජා මහත්මියගේ මූලිකත්වයෙන් නව ඉදිරි ගමනකට සම්ප්‍රාප්ත වීමද සංකේතවත් කරයි. මීට ඉහත මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ෆොන්ටෙරා මෙහෙයුම් කටයුතු වල ප්‍රධානියා බවට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ සිවරාජා මහත්මිය දැන් තම උපන් රට වූ ශ්‍රී ලංකාව තුළද එම ගෞරවයට හිමිකම් කීමට සමත් වී ඇති අතර, මෙරට සිට ඇය රටවල් 9 ක් පුරා විහිදුණු ව්‍යාපාර ජාලයක් මෙහෙයවනු ඇත. තම වෘත්තීය ජීවිතයේ වසර 21 ක් පුරා රටවල් 18 කදී අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන ඇති සිවරාජා මහත්මිය එම අත්දැකීම් ඔස්සේ තම මවු රටට විශිෂ්ට සේවාවක් ඉටුකිරීම සඳහා පෙරමුණ ගැනීමට සූදානමින් සිටින්නීය.
උත්සවය අමතමින් සිවරාජා මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. “පසුගිය දුෂ්කර කාලසීමාවේදී එල්ලවුණු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ඉටුකළ අතිවිශිෂ්ට හා ආදර්ශමත් මෙහෙවර වෙනුවෙන් සෞඛ්‍ය සේවකයන්ටත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටත්, ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ටත් අපගේ ස්තූතිය හිමිවෙනවා. එමෙන්ම අඛණ්ඩව අප වෙත ලබාදෙන මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන්, අප ව්‍යාපාර කටයුතු සිදුකරන සියලුම ප්‍රදේශ වල නිසි බලධාරී අංශ වලටත් අපගේ කෘතඥතාව හිමිවිය යුතුයි.
“ගෝලීය වසංගතයක් හමුවේ හැකි උපරිමයෙන් රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ඇපකැප වී කටයුතු කළ අපගේ කණ්ඩායම පිළිබඳව මා ආඩම්බර වනවා. රටට මුහුණදීමට සිදුවූ විවිධ තත්ත්වයන් හමුවේ මතුවූ අවශ්‍යතාවන් නිසි පරිදි හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ඔවුන් දයාව පෙරදැරිව ඉටුකළ සේවාව වෙනුවෙන් මගේ කෘතඥතාව ඔවුන්ට පුදකිරීමට මා කැමතියි.
“අපේ රට සම්පත් වලින්, කුසලතා වලින් සහ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් රටක්. මේ සාධක වලින් පන්නරය ලබමින් රටේ සෞභාග්‍යයේ ඉදිරි ගමනට සමගාමීව ජනතාවට වඩාත් යහපත් ජීවන තත්ත්වයක් උදාකර දීම සඳහා කැපවීමට මා බලාපොරොත්තු වෙනවා.”
Video Story