ෂාරුක් ඛාන් එන උත්සවය ආරාධිතයින්ට පමණයි. ටිකට් නිකුත් කිරීමක් නැහැ

    July, 4, 2025

    එළඹෙන අගෝස්තු 02 වන දින සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවය සඳහා අනවසර ලෙස ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන බවට තම ආයතනයට අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් City of Dreams Sri Lanka පවසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උත්සවය ආරාධිතයින්ට (strictly by invitation only) පමණක් සීමා වන බවත් කිසිදු තෙවන පාර්ශවයකට ඊට අදාලව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ විකිණීමට අවසර නොමැති බවත්ය.

    එබැවින් එවැනි නිලනොලත් පාර්ශවයන් විසින් සිදුකරනු ලබන කිසිදු දැන්වීමකට තම ආයතනය සම්බන්ධ නොමැති බවත්, එවැනි වංචාසහගත ක්‍රියාවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් City of Dreams Sri Lanka ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    තව ද මේ සම්බන්ධ ඕනෑම විමසීමක් සඳහා City of Dreams Sri Lanka නිල සන්නිවේදන මාර්ග හා පමණක් සම්බන්ධ වන ලෙසද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.