January, 13, 2026
දිට්වා සුළි කුණාටුව හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් කඩිනම් මූල්‍ය ණය (Rapid Financing Instrument) පහසුකම සඳහා වූ පොලිය රටට අහිතකර ලෙස ඇතැම් පාර්ශව පෙන්වා දුන්නත් එය එම පාර්ශව වල නොදැනුවත්කම මත පවසන්නක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීමට රජය ගත් තීරණය අත්‍යාවශ්‍යම තීරණයක් බවයි.
තව ද මෙම ණය ගැනීම් දේශීය ණය ගැනීම් සමඟ සංසන්දනය කිරීම නොගැලපෙන බවත් මෙය වෙළඳපොළේ වාණිජ ණය ගැනීම් සමඟ සැසදීමේ දී ඉතාමත් අඩු පොලී අනුපාතිකයක් බවත් අධිපතිවරයා පැහැදිලි කර සිටියේය.
ඊයේ (12) විකාශය වූ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
"අපි ජාත්‍යන්තර අරමුදලින් ගන්න ණයවල පොලිය සාමාන්‍යයෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් තමයි අවුරුදු 4, 5 වගේ කාලෙකට තියන පොලිය. විදේශ විනිමය ගත්තත්. අපි බැලුවොත් ශ්‍රී ලංකා රජයට අපේ තියන රේටින් එක, CCC රේටින් එක යටතේ ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය අරගෙන තියනවනම් වාණිජ මට්ටමෙන් ගන්න තියනවනම් ගන්න තියන පොලී අනුපාතය අවුරුදු 4කට 5කට ඔයිට වඩා වැඩියි. එහෙම සංසන්දනය කරාම මේක වෙළඳපොළේ වාණිජ ණය ගන්නවට වඩා සෑහෙන්න අඩු පොලියක් අය කරන්නේ. අනිත් එක තමයි මේ වගේ අවස්ථාවක දී වඩාත්ම වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ වගේ අර්බුදයක් වුණාම විශාල වශයෙන් අලුතෙන් විදේශ විනිමය වශයෙන් වියදම් තියනවා. එතකොට ඒක මේ දේශීය ණය ගැනීම් එක්ක සංසන්දනය කිරීම සම්පූර්ණ ගැලපෙන දෙයක් නෙවෙයි. දේශීයව රුපියල්වලින් වියදම් කළාට, අවසානයේ ඒ සම්බන්ධයෙන් ආනයනය කරන්න විශාල ප්‍රමාණයක් තියනවා. නැත්තන් එතනින් විදේශ විනිමයට පීඩනයක් ඇති වෙනවා. ඒක සමනය කිරීම සඳහා අනිවාර්යෙන්ම මේ වගේ පොලී අනුපාතිකයක් යටතේ ණය ගැනීම තමයි හොදම තීරණය. මේ වගේ ලැබෙන්න තියන දේ නියමිත ආකාරයට මේ පොලියට ලබා ගැනීම මම හිතන්නේ රජය ගත්තු අත්‍යාවශ්‍යම තීරණයක්. ඒ ගැන මම නම් දකින්නේ නැහැ කිසිම අඩුපාඩුවක් වැරැද්දක්. එහෙම තමයි ඒක කරන්න තිබුණේ."
Video Story