1857/8 ගැසට් නිවේදනයේ බදු ඉවත් කිරීමෙන් සේවකයින්ට ලැබෙන සහනය කුමක්ද?

    July, 22, 2014

    රජය නිකුත් කළ 1857/8 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීම නිසා ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යන රාජ්‍ය සහ පුද්ගලික ආයතන සේවකයින් වෙත ලබාදෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු අය කිරීමට ගෙන තිබූ තීරණය අහෝසි වනබව ලංකා බැංකු සේවක සංගමයේ නිළධාරියෙකු කියයි.

    ලංකා බැංකු සේවක සංගමයේ සෙලාන් බැංකු ශාඛාවේ සභාපති, මහින්ද ජයවීර මහතා අප සමග පැවසුවේ රජය විසින් 2014 අප්‍රේල් 09 වනදා නිකුත් කර තිබූ මෙම ගැසට් නිවේදනය මගින් මෙම ආයතනවල සේවකයින් වෙනුවෙන් එම ආයතන විසින් ලබාදෙන ප්‍රතිලාභ සඳහා උපයන විට බද්දක් (PAYE Tax) අය කිරීමට තීරණය කර තිබූ බවයි.

    “සේවකයෙක් බැංකුවකින් ලබාගන් නිවාස ණයකින් කොටසක් අදාළ ආයතනය විසින් ගෙවන්න පුළුවන්. මෙම ගැසට් නිවේදනයට අනුව අදාළ ආයතනය විසින් සේවකයාට ප්‍රතිලාභයක් ලෙස ගෙවන මෙම කොටස උපයන විට බද්දට (PAYE Tax) යටත් කරනවා.“

    “මේ අනුව, අඩු පොලී නිවාස ණය, ගුවන් ටිකට් පත්, සංචාර, ඇඳුම් පැළඳුම් වැනි සේවකයින්ට ලබාදෙන ඕනෑම ප්‍රතිලාභයක් ගණනය කර බද්දට යටත් කිරීම මෙම ගැසට් නිවේදනයට අනුව සිදුකළ හැකියි. මෙහි, සීමාවක් නෑ. ඕන නම් සේවකයින්ට ලබාදෙන තේ, ආහාර පවා ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභයක් ලෙස සලකා බද්දට යටත් කරන්න පුළුවන්. මේ නිසයි, වෘත්තීය සමිති මෙය අහෝසි කරන්නැයි දිගින් දිගටම බලපෑම් කළේ.“

    යනුවෙන් ජයවීර මහතා අප සමග සඳහන් කළේය.

    මේ අනුව, රජය ඊයේ පැවසුවේ බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඇතුළු ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණ කිරීම, අතිකාල දීමනා ඇතුළු ප්‍රතිලාභ වෙනුවෙන් බදු අයකිරීම නතර කර තිබෙන බවයි.