2016 අප්‍රේල් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය හැසිරුණු හැටි

    May, 24, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 අප්‍රේල් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 111.6 ලෙස ගණනය කර ඇත. අප්‍රේල් මාසයේ දර්ශකය මාර්තු මාස‍යේ දර්ශකය (110.0) හා සංසන්දනය කල විට 1.6ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.5ක වැඩිවීමක් වාර්තා වේ. මේ සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45% කින් වැඩිවීම බලපා ඇත.

    2016 මාර්තු මාසය හා සසඳන කල 2016 අප්‍රේල් මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම වැඩිවීම සඳහා අළුත් මාළු, දෙහි, ලුණු, සහල්, කෙසෙල්, අර්තාපල්, සීනි, කුකුල් මස්, බිත්තර, පාන්, තිරිඟු පිටි, එළවළු, ලොකුළූණු, පොල්තෙල් සහ සුදුළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එසේ වුවත් පැපොල්, අමු මිරිස්, පොල්, අඹ, සියඹලා සහ වියළි හාල්මැස්සන් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

    2016 මාර්තු මාසය හා සසඳන කල 2016 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’, ‘ප්‍රවාහන’, ‘රෙදිපිළි හා පාවහන්’, ‘ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’, යන කාණ්ඩවල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. තවද ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, ‘ආපනශාලා හා හෝටල්’ සහ ‘විවිධ භාණ්ඩ හා සේවා’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකමෙහි ඉතා සුළු වැඩිවීමක් වාර්තා වී ඇත. ‘සෞඛ්‍ය’, ‘සන්නිවේදන’, ‘විනෝදාත්මක හා සංස්කෘතික’ සහ ‘අධ්‍යාපන’ කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.
    ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2016 අප්‍රේල් මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.3% ලෙස ගණනය කොට ඇති බව සදහන් ක‍ලේය.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නවතම පාරිභෝගික මිල දර්ශකය වන ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) 2015 ඔක්තෝම්බර් මස සිට අදාල ලිත් මාසය අවසන් වී 21 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබේ.