2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    January, 9, 2017

    2016 වසර තුළදී බදු මගින් රජයට රු. බිලියන 100 ක පමණ අදායම් ලැබිය හැකිව තිබූ රාජ්‍ය අදායම් ආකෘතිය මේ වනවිට බිඳවැටී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නීත්‍යානුකූලව නිෂ්පාදනය කෙරෙන සිගරට් මත පැනවූ නිෂ්පාදන බදු සහ වැට් බදු නිසා සිගරට් මිල 43% ක් තරම් විශාල ප්‍රමාණයකින් ඉහළ යාම මගින් මෙම තත්ත්වය උදාවී ඇති බව එම සමාගම පෙන්වා දෙයි.

    2016 වසරේ ප්‍රථම මාස 9 තුළ ලංකා දුම්කොළ සමාගම රජයට බදු වශයෙන් රු. බිලියන 73 ක මුදලක් ගෙවා ඇත. මෙම දත්ත අනුව වසරේ අවසන් මාස තුන තුළ රජයට ලැබිය හැකිව තිබූ ආදායම රු. බිලියන 27 ක් පමණ වේ. මෙසේ වුවද බදු වැඩිකිරීමත් සමග මෙම ප්‍රමාණය පසුගිය වර්ෂයට සාපේක්ෂව 44% කින් පමණ පහළ යමින් රු. බිලියන 14 දක්වා අඩුවිය. ඒ අනුව වර්ෂය තුළ රජයට උපයාගත හැකි වූ බදු ආදායම රු. බිලියන 87 ක් පමණක් වූ අතර අහිමි වූ ආදායම රු. බිලියන 13 කි.

    "ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන මත බදු පැනවීමෙන් රජය ඉලක්ක දෙකක් ළඟා කරගැනීමට අපේක්ෂා කරනවා. එම ඉලක්ක වන්නේ රටේ දුම්කොළ පරිභෝජනය අඩුකිරීම සහ සිගරට්වලින් ලැඛෙන බදු ආදායම වැඩි කරගැනීමයි. කෙසේ වුවද පසුගිය කාර්තුවේ දක්නට ලැබුණු ආකාරයට මෙම ඉලක්ක දෙකෙන් එකක් වත් ඉෂ්ට වී නැහැ. ජනතාව දැන් සිගරට් වෙනුවට බීඩි හෝ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ සිගරට් වෙත යොමුවෙමින් සිටිනවා. ඒ නිසා දුම්කොළ පරිභෝජනයේ පහළ යාමක් සිදු නොවනවා වගේම රජයට ලැඛෙන ආදායම වැඩිවනවා වෙනුවට අඩුවීම කනගාටුවට කරුණක්." ලංකා දුම්කොළ සමාගමේ සාමාන්‍යධිකාරී/කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් කෝස්ට් මහතා පැවසී ය.

    සිය නිෂ්පාදන අලෙවිය 45% කින් පමණ පහළ යාම නිසා කොළඹ පිහිටි කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය 20% කින් අඩු කිරීමටත්, දුම්කොළ ගුදම් 4 ක් වසා දැමීමටත් තමන්ට සිදුවූ බවද ලංකා දුම්කොළ සමාගම පසුගියදා නිවේදනය කළේ ය.