2017 දී සීනි ලාභය රුපියල් බිලියන 1.1 යි

    January, 22, 2018

    බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී බිලියනයක (මිලියන 1006 ක) ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී බිලියන 1.1 ක (මිලියන 1,174.6) ලාභයක් දක්වා වර්ධනය වූ බවත්, 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක (මිලියන 1,816) ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ දි පැවති දේශීය සීනි නිෂ්පාදනය පිළිබද සාකච්ඡාවේදීය.

    වර්ෂ 2015 වන විට පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගම, සිය සෙවනගල හා පැලවත්ත ඒකකයන්හි උක්ගොවීන්ට හා භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට ගෙවීම් කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයක පැවතුණි.

    මේ පිළිබඳව අවධානය යොමු කළ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, සීනි කර්මාන්තය යළි නගා සිටු වීමට නම්, සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පමණක් නොව, නාස්තිය හා අනවශ්‍ය වියදම් වැළැක්වීම සඳහා මනා කළමනාකාරීත්වයක් ඇති කිරීමට පියවර ගනු ලැබීය.

    ඒ සඳහා දක්‍ෂ සභාපතිවරයෙක් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියෙක්, අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කර නාස්තිය, දූෂණය වළක්වා මනා කළමනානාරීත්වයකින් යුතුව සේවකයන්ගේ මෙන්ම උක්ගොවි ජනතාවගේ ද සහයෝගය ලබා ගනිමින් සමාගමේ ලාභාංශ වැඩි කිරීමට පියවර ගැණුනු බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.