2018-19 මූල්‍ය වසරේ අභියෝග ජයග‍්‍රහණය සියැට් සිය ප‍්‍රමුඛතම අලෙවි නියෝජිතයින් සමග සමරයි

    August, 22, 2019

    ආර්ථික සහ දේශපාලන වාතාවරණය යහපත් නොවන අවස්ථා වලදී එක්ව ශක්තිමත්ව කටයුතු කිරීමේ අගය තේමා කරගනිමින් මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සිය විශිෂ්ට අලෙවි නියෝජිතයින් සඳහා හම්බන්තොට ෂැන්ග‍්‍රි-ලා හෝටලයේදී අති උත්කර්ශවත් සම්මාන ප‍්‍රදානෝත්සවයක් පවත්වමින් සමාගමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් පසුගියදා සම්මාන ප‍්‍රදානය කළේය.

    මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ‘Together Towards Tomorrow’ යන තේමාව යටතේ පැවැත්වින. මේ සඳහා සමාගමේ ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 150 දෙනෙක් සහභාගි වූ අතර ඔවුන් අතුරෙන් 70 දෙනෙකු සම්මාන ලැබීය. මෙහිදී, ඉන්දු-ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරය විසින් නව නිෂ්පාදන, ධාරිතාවය වර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා අති විශාල ආයෝජනයක් සිදුකළ 2018-19 මූල්‍ය වසරේදී සමාගමේ ආදායම වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අලෙවි නියෝජිතයින් ඇගයීම සිදුකරන ලදී.

    මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ සියැට්- කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසුවේ සමස්තයක් ලෙස රටේම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය අපහසුතාවයට පත්වී තිබෙන සමයක සමාගම විසින් මේ වසරේ ලබා තිබෙන සියයට 03 ක දේශීය වෙළඳපොළ වර්ධනය කැපී පෙනෙන බවයි. ‘අපි හැමෝම දුෂ්කර කාලයක් ගත කරමින් සිටිනවා. මේ වගේ කාලයක, අභියෝග ජයගැනීම සඳහා අපි සහයෝගයෙන් වැඩ කිරීමට අවශ්‍ය වෙනවා,’ යනුවෙන් ඔහු මෙහිදී පැවසීය.

    ආර්ථිකයේ ඇතිවී තිබෙන කෙටි කාලීන පසුබෑමෙන් අධෛර්යමත් නොවී සැලසුම් කර තිබූ රුපියල් බිලියන 03 ක ආයෝජනය ධෛර්යමත්ව ඉදිරියට ගෙන යමින් ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් නිෂ්පාදනය කිරීමට, යතුරු පැදි ටයර් සහ මගී මෝටර් රථ රේඩියල් (PCR) ටයර් නිෂ්පාදනය දෙගුණ කිරීමට සහ නිෂ්පාදන තාක්ෂණය සහ ක‍්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට සමාගම කටයුතු කිරීම නිසා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමට සියළු නිෂ්පාදන අංශවල වෙළඳපොළ කොටස ඉහළ නංවා ගැනීමටත් තරඟකාරීත්වයෙන් ජයග‍්‍රහණයක් ලැබීමටත් හැකිවූ බව මෙහිදී ඩඞ්ලානි මහතා පැවසීය.

    ඔහු අවධාරණය කළේ 2018-19 වසරේදී සිදුකළ ආයෝජනයේ සම්පූර්ණ ප‍්‍රතිඵල වර්තමාන මූල්‍ය වසරේදී දැකගත හැකිවනු ඇති බවයි. මේ අනුව, පක්ෂපාතී අලෙවි නියෝජතයින්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තුවන බවත් ‘together towards tomorrow’ යන තේමාව යථාර්තයක් බවට පත්කර ගැනීමට එක්වන ලෙසත් හෙතෙම මෙහිදී ආරාධනා කළේය.

    මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2018-19 මූල්‍ය වසරේදී සියැට් සන්නාමයේ වර්ධනය සඳහා දායකත්වය දැක්වූ ප‍්‍රමුඛතම අලෙවි නියෝජිතයින්ට මුදල් ත්‍යාග, කුසලාන සහ සහතික පත් හිමිවිය. මෙහිදී, සමාගම විසින් නිෂ්පාදනය කරන ඒ ඒ නිෂ්පාදන අංශ යටතේ සහ සමස්තයක් ලෙස මෙම ඇගයීම සිදුකරන ලදී. මෙම උත්සවයේදී සිදුකළ දිනුම් ඇදීමේදී ස්වරණාභරණ මිලදී ගැනීම සඳහා වවුචර් පත් දිනාගැනීමේ අවස්ථාවද ඔවුන්ට ලැබුණි.

    2018-19 වසරේ ප‍්‍රමුඛතම අලෙවි නියෝජිතයා ලෙස කොළඹ 02 U&H වීල් සර්විස් පුද්ගලික සමාගම තේරී පත්වූ අතර සියැට් ප‍්‍රමුඛතම අලෙවි නියෝජිතයින් 10 දෙනා අතරට කොළඹ 14 පැරමවුන්ට් ටයර් ටේ‍්‍රඩර්ස්, මහනුවර සුපිරි ටයර් වර්ක්ස්, අම්බලන්ගොඩ සුමිත් මාර්කටිං කම්පනි, වව්නියාවේ නන්දා ටයර් හවුස්, මහනුවර එම්.ජේ.ආර්. පීරිස් ඇන්ඞ් සන්ස්, කුරුණෑගල සුමිඩැග් ටයර් කම්පනි, වලස්මුල්ල ටයර් ලින්ක් (ප‍්‍රයිවට්) ලිමිටඞ්, අක්කරෙයිපත්තුවේ අබ්ඞීන් ටයර් සර්විස් සහ පෑලියගොඩ නිව් රිස්ලා ටයර් හවුස් තේරී පත්විය.

    සියැට්-කැළණි සමාගම විසින් රේඩියල්, වාණිජ, යතුරුපැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර යන කාණ්ඩයන් සඳහා ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 33% ක කොටසක්ද, ට‍්‍රක් රථ BIAS ටයර් වෙළෙඳ පොළින් 64% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 80% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 50% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 31% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට ටයර් අපනයනය සිදුකරයි.

     

    සේයාරු සටහන - සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ ප‍්‍රධාන වෙළඳ නියෝජිතයින් 10 දෙනා සමග සමාගමේ විධායක අධ්‍යක්‍ෂ රොහාන් ප‍්‍රනාන්දු මහතා සහ කළමනාකරණ අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා (දකුණේ සිට පිළිවෙළින් පස්වැන්නා සහ හත්වැන්නා)