July, 6, 2020
ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළවල ආයතනික හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව වෙතින් ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.
ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රය දියුණු කිරීම තුළින් බැංකුව රටේ ආර්ථිකයට ලබාදී තිබෙන දායකත්වය සහ එම ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන මූල්‍ය සේවා ඇගයීමෙන් පසුව බැංකුව වෙත ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ යන ජාත්‍යන්තර සම්මානය ලබාදී තිබේ. මේ අතර, බැංකුව විසින් සිය ආයතනික සමාජ වගකීම් භාරය මගින් මෙරට අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය සහ ප‍්‍රජා සංවර්ධනය දියුණු කිරීම සඳහා රටපුරා ජාතික මට්ටමින් කරන මෙහෙවර ඇගයීමට ලක් කරමින් ‘ආයතනික සමාජ වගකීම අනුව හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මානය ලබාදී ඇත. කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් 2019 සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට තුළ ව්‍යාපෘති 480 කට වැඩි ප‍්‍රමාණයක් නිමකර තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක මුදලක් ආයෝජනය කර තිබේ.
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රය සඳහා වැඩිපුර කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව 2019 වසරේදී විදේශීය උපදේශන සමාගමක විශේෂඥ සහායද ලබාගනිමින් සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණ ප‍්‍රතිසංධාන වැඩසටහනක් ආරම්භ කළ අතර එහි අරමුණ වූයේ මෙම ක්ෂේත‍්‍රය වෙනුවෙන් නිවැරදි ණය කළමනාකරණ මෙහෙයුමක් සිදුකිරීමයි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රය සඳහා ණය ලබාදීම වෙනුවෙන් වාර්ෂිකව විශාල වර්ධනයක් ලබාගැනීමට මෙහිදී ඉලක්ක කර තිබූ අතර එමගින් එම ණය සැකසීම අතින් වෙළඳපොළ තුළ හොඳම බැංකුව බවට පත්වීම කොමර්ෂල් බැංකුවේ අපේක්ෂාව විය.
ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් සැලකීමේදී කොමර්ෂල් බැංකුව වැඩිපුරම දායකත්වයක් දක්වන්නේ ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහායි. මේ දක්වා බැංකුව විසින් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 190 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර දිවයිනේ පාසැල් සඳහා භාරදී තිබෙන අතර බස්නාහිර පළාතේ පාසැල් 65 ක් සඳහා පුළුල් ඉගෙනීමේ කළමනාකරණ පද්ධතියක් (LMS) හඳුන්වාදීම සඳහා සිදුකරන ‘ස්මාර්ට් ස්කූල්ස්’ ව්‍යාපෘතියේ පාර්ශවකරුවෙකු ලෙසද බැංකුව කටයුතු කරයි. මෙම ආයතනික සමාජ වගකීම් සම්මානය සඳහා ඇගයීම් කටයුතු කළ වසරේදී බැංකුව විසින් අ.පො.ස. සා.පෙළ ගණිතය, විද්‍යාව, ඉංග‍්‍රීසි යන විෂය නිර්දේශයන් සහ අ.පො.ස. උ.පෙළ ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය සහ රසායනික විද්‍යාව යන විෂය නිර්දේශයන් ඩිජිටල් මාධ්‍යයට හැරවීම සඳහා සහයෝගය ලබාදුන් අතර ගුරුවරුන් 5000 කට වැඩි සංඛ්‍යාවකට ඊ-ඉගෙනීමේ වැඩමුළු පවත්වන ලදී. එසේම, බැංකුව විසින් පාසැල්වල ගණිත විද්‍යාගාර ආරම්භ කිරීමට අරමුදල් සපයන අතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා සුදුසුකම් නොලබන සිසු දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථාවන් වැඩිකිරීමටද කටයුතු කරයි.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
Video Story