2020 දී අයවැය හිඟය 3.5% කට අඩු කරනවා – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

    November, 5, 2015

    මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය මගින්, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක් දක්වා අඩුකරලීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. නව රජයේ මධ්‍ය කාලීන සංවර්ධන වැඩසටහනට අනුව යමින් මෙම ඉලක්කය වසර 2020 වන විට සාක්ෂාත් කර ගැනීමට බලාපොරාත්තු වන බව එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    ණයබර අඩුකරලීම සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා අවංක සහ විශ්වාසනීය වෑයමක් දැරීම, ආදායම වැඩි කරලීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දීම, ප්‍රතිපායන බදු ක්‍රමවේදය අවම කරලීම ඔස්සේ වක්‍ර සහ සෘජු ආදායම් බදු ලැබීමේ අනුපාතය මධ්‍ය කාලීන වශයෙන් 80%:20% සිට 60%:40% ආකාරයට ගෙන ඒම, බදු කළමනාකරණය ශක්තිමත් කිරීම සහ බදු මුක්තීන් සහ සහන අවම කිරීම කෙරෙහි ක්‍රියාකරන බව එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    මුදල් අමාත්‍යාංශයේ සුවිශේෂ අවධානය රජයේ ආදායම ඉහළ නැංවීම බවත් පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සැලසුම් කිරීම හා පාලනය කෙරෙහි අවධානය යොමු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.